රජයට රුපියල් මිලියන 400ක් පාඩු කළ ගුවන්පාලම
April 28, 2025 10:23 pm
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ පිළිබඳ අද (28) හෙළිදරව් කළේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුවය.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ගුවන් පාලම් 3න් බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිවෙමින් පවතින ගුවන් පාලම කොම්පඤ්ඤවීදිය පොලිස් පැරණි නිල නිවාස හරහා ඉදිකිරීමට සැලසුම්කර තිබේ.
ඒ අනුව නිල නිවාස 6ක් කඩා ඉවත්කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් වසර දෙකක් පමණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබුණි.
ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද එහි නිරීක්ෂණයක නිරත විය.
එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
"ගොඩනැගිලි 6ක් කඩා ඉවත්කරන්න සිදුවෙනවා. එම ගොඩනැගිලිවල පදිංචි වී සිටින ගොඩක් නිලධාරීන් පොලීසියේ සහ ආණ්ඩුවේ ඉල්ලීම මත වෙනත් ස්ථානවලට ගිහින් තිබෙනවා. නමුත් සීමිත පිරිසක් තවමත් රැඳී සිටි නිසා ඒ නිසා ඉදිරිකිරීම් කටයුතු වසර දෙකක කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. මේක ප්‍රමාදවීම නිසා දිනකට රුපියල් ලක්ෂ 5ක අමතර මුදලක් රජය දැරිය යුතුයි. දැනට රුපියල් මිලියන 400කට අධික මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙව්වා. දැනට පදිංචි වී සිටින පවුල්වල අයට කිසිම අගතියක් වෙන්නේ නැතුව තාවකාලික ස්ථාන ලබාදෙනවා යන්න. අපි උපරිම මාස එකහමාරක් ඇතුළත ඒ අයටත් ස්ථීර ස්ථාන ලබාදෙනවා."