ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

April 28, 2025   09:34 pm

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති බවය.

විදුලිය ඇනහිටීම හේතුවෙන් ගුවන් ගමන්වලටද බධා මතුව ඇති අතර දෙරට පිහිටි මැඩ්රිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලිස්බන්හි ජාත්‍යන්තර ගුවන්තොටුපළද වසා දැමීමට ද පියවර ගෙන තිබේ. 

මේ අතර ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ විදුලි සංදේශ කටයුතු ද අඩාල වී ඇති අතර ඒ හේතුවෙන් ජංගම දුරකතන ජාල වෙතද දැඩි බලපෑම් එල්ලවී ඇත.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගර මධ්‍යයේ අලෝක සංඥා පුවරු ක්‍රියා විරහිත වීම හේතුවෙන් එරට දැඩි රථ වහාන තදබදයක්ද නිර්මාණය වී ඇති අතර ස්පාඤ්ඤයේ ජාතික දුම්රිය සමාගම වන රෙන්ෆේ සමාගම පවසන්නේ, විදුලි බලය ඇනහිටීම හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාලවී ඇති බවය.

කෙසේවෙතත් ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේ සහ දකුණු ප්‍රදේශයේ විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට එරට විදුලි බල අංශය කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්පාඤ්ඤයේ පවතින විදුලි කප්පාදුව නැවත යථා තත්ත්වය පත් කිරීමට පැය 10ක පමණ කාලයක් ගතවිය හැකි බව එරට විදුලි බල අංශය පවසන අතර පෘතුගාලය පූරා පවතින විදුලි බිඳවැටීම යළි යථා තත්ත්වයට පත් කිරීමට සතියක පමණ කාලයක් ගතවිය හැකි බව පෘතුගාලයේ බලශක්ති සමාගමක් වන REN සමාගම පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ අගමැති ජාතික ආරක්ෂණ රැස්වීමක්ද කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම ඇතිව තිබුණු විදුලි බිඳවැටීම හේතුවෙන් ස්පාඤ්ඤ ගුවන්තොටුපොළවල් වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස එරට ගුවන් සමාගම් ගුවන් මගීන්ට දැනුම් දී ඇත.

මේ අතර පෘතුගාලය චෝදනා කරනු ලබන්නේ ස්පාඤ්ඤයේ විදුලි බල පද්ධතියේ විදුලි බල දෝෂයක් හේතුවෙන් විදුලිය ඇනහිටීමක් සිදුව ඇති බවය.

කෙසේ නමුත් මෙම චෝදනාවට ස්පාඤ්ඤය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ඇතිවූ විදුලි බිඳවැටීම හේතුවෙන් ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල තාවකාලිකව විදුලි ඇනහිට තිබූ බවද ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.