ගෝලීය එන්නත්කරණය අවදානමක

ගෝලීය එන්නත්කරණය අවදානමක

April 25, 2025   09:26 pm

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එය කොවිඩ් -19 ගෝලීය වසංගත සමයේ ඇති වූ එන්නත්කරණ ඌණතාවයට සමාන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය විශේෂයෙන් පහළ සහ මැදි ආදායම්ලාභී රටවලට බලපාන බවත් එමගින් පෙන්වා දෙන කරුණකි. 

මේ නිසා දැනටමත් ගෝලීය වශයෙන් සරම්ප, මෙනින්ජයිට්ස් සහ කහ උණ වැනි රෝග පැතිරීම ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මඟින් පෙන්වා දෙයි. 

මේ විදියට පහළ සහ මැදි ආදායම් ලබන ලෝකයේ රටවල් සංඛ්‍යාව 108ක් පමණ වේ.

එන්නත්කරණය අද මුහුණදෙන මෙම අරමුදල් ගැටලුව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමු අරමුදල සහ 'ගවි' (GAVI)හෙවත් ගෝලීය එන්නත්කරණ වැඩසටහන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කැත්රීන් රසල් සඳහන් කළේ, ගෝලීය එන්නත්කරණය අද මුහුණදෙන තත්ත්වය කොවිඩ් වසංගත සමයේ පැවති පසුබෑමට බෙහෙවින් සමාන බවය. 

එහෙත් වැළැක්විය හැකි රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලබාදෙන එන්නත්කරණ අතහැර දැමිය නොහැකි බවත් ඇය අවධාරණය කළාය. 

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ජගත් සංවිධාන එන්නත්කරණ වැඩසටහන් සඳහා මෙතෙක් විශාලතම දායකත්වය දැක්වූ අමෙරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් කප්පාදු කිරීම බව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ගවි හෙවත් ගෝලීය එන්නත්කරණ වැඩසටහන පසුගිය වසරේ ජුලි මාසයේ දියත් කරනු ලැබූවකි.

එමඟින් 2026 -2030 කාලවකවානුව සඳහා එන්නත්කරණය වෙනුවෙන් ඩොලර් බිලියන 9ක අරමුදල් අපේක්ෂා කරයි.

ගවි හෙවත් ගෝලීය එන්නත්කරණ වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකා සානියා නිස්තාර් පවසන ආකාරයට, අවශ්‍ය අරමුදල් සියල්ල ලැබුනහොත් බෝවන වසංගත රෝගවලට එරෙහිව සටන් කිරීමට ලෝකයට හැකියාවක් ලැබෙනු ඇති බවය. 

2021 වසරේ සිටම සරම්ප රෝගය වසරක් පාසා වැඩිවෙමින් පවතින බවත්, අප්‍රිකාවේ මෙනින් ජයිට්ස් රෝගය පසුගිය වසරේ ඉහළ ගිය බවත්, ඇය පෙන්වා දෙන කරුණකි.

ඒ වගේම පසුගිය දශකය තුළ පහත වැටුණු කහ උණ රෝගීන් සංඛ්‍යාව ද දැන් ඉහළ ගොසිනි. 

අමෙරිකාව ලබාදෙන විදේශාධාර අමෙරිකාවට ප්‍රමුඛත්වය හිමිවන 'අමෙරිකා ෆස්ට්' ප්‍රතිපත්තිය යටතේ නැවත සැකසීමට ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පියවර ගනිමින් සිටී.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය වෙත ලබාදෙන මූල්‍යාධාර ද කප්පාදු කෙරෙන බව අමෙරිකානු රජයේ අභ්‍යන්තර ලේඛනයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවාව සඳහන් කළේය. 

ඒ අනුව ගෝලීය එන්නත්කරණ වැඩසටහන සඳහා අමෙරිකාව වාර්ෂිකව ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කපා හැරේ. 

කෙසේ නමුත් ගෝලීය එන්නත්කරණ වැඩසටහනේ 28 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයට ට්‍රම්ප් පරිපාලනය විසින් පසුගිය සතියේ නියෝජිතයෙකු නම් කළේය.

ඔහු ට්‍රම්ප් රජයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ පරිපාලක මාක් ලොයිඩ්.

මේ පත්කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් සැපයුම අතර සම්බන්ධතාව තවමත් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.