දේශබන්දුට එරෙහිව අධිකරණය අද දුන් තීන්දුව
April 25, 2025 08:04 pm
ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම තුළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (25) තීන්දු කළේය.
කෙසේ වෙතත් මුල් අවස්ථාවේ අධිකරණයකට සිදුකරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය එම අධිකරණයට නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දී ඇත.
2023 වසරේ දෙසැම්බර් 31 වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමකදී පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් දින 22ක් රක්ෂිත බන්ධනාගාරගත කළ ධුරයේ රාජකාරී කිරීම අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අප්‍රේල් 10 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදාහැරියේය.
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන ඉන් පිටව ගියේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට නොගෙන එන ලෙසට සහ ආරක්ෂකයින් යොදානොගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් ඇප කොන්දේසි කඩකරමිනි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් අද දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණි.
අද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ඇප ලැබූ දිනයේ වාහනයේ ගමන් කළ රොෂාන් ලක්ෂිත නැමැත්තා අධිකරණයට අපහාස කර ඇති බවයි.
" ස්වාමිනි, පසුගිය නඩු වාරයේදී මම කිව්වා මොහුට ඇප දුන්නොත් මොහු මේ නඩුවම විනාශ කරනවා කියලා. කිව්වා වගේම ඔබේ නියෝගයේ තීන්ත වේලෙන්නත් කලින් මෙම සැකකරු අධිකරණ නියෝග උල්ලංඝනය කරලා තියෙනවා. එම නියෝග වුණේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රය ඇතුළට ගෙන්වා ගැනීමට අවසර නොදීම සහ අධිකරණ පරිශ්‍ර යෙන් පිටව යනතුරු විශේෂ ආරක්ෂාවක් ලබානොදීම කියන කාරණා. මොහු එම නියෝග දෙකම උල්ලංඝනය කර තිබෙනවා. මේක පැහැදිළිවම අධිකරණයට අපහාස කිරීමක්. මොකද එය එම මොහොතේම විදර්ශන ප්‍රනාන්දු මාධ්‍යවේදියා දෙරණ නාලිකාවේ සජීවිව වාර්තා කළා. අනිත් සියලුම මාධ්‍ය නාලිකාත් ඉතා සුළු වෙලාවක් තුළ මෙය වාර්තා කළා. ඇප දීපු එක ඇහුන මේ සැකකරුට කොහොමද ඔබේ මෙම නියෝගය පමණක් ඇහුනේ නැත්තේ. දවස් 22 ඇතුලේ හිටියත් මොහුගේ බලපරාක්‍රමය බිදිලා නැහැ කියලා ලෝකෙට පෙන්නන්නපු එකයි මේ කළේ. ස්වාමිනි වෙන වෙන තැන්වල ජෝගි දැම්මාට අධිකරණයේ සෙල්ලම් කරන්න දෙන්න බැහැ. "
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ගමන් කළ මෝටර් රථය අධිකරණ පරිශ්‍රය තුළට ගත් ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ද කරුණු වාර්තා කළේය.
" ස්වාමිනි, මේ මෝටර් රථය රඳවලා තිබිලා තියෙන්නේ ඔබතුමන්ගේ නිල වාහනය නවත්වන විනිසුරු රථ ගාලේ. නීතිඥවරයෙකුවත් එම රථ ගාලේ වාහන නවත්වන්නේ නැහැ. මෙය බරපතළ තත්ත්වයක්. බෝම්බ සහිත කාර් එකක් ඔතන නැවැත්තුවාත් ඔය ටිකමයි. අපි විමර්ශනය කළා කව්ද මෝටර් රථය ඇතුළට ගන්න අවසර දුන්නේ කියලා. ස්වාමිනි දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුවට ආපු නීතිඥවරයෙකුට ඇතුළට යන්න අවශ්‍යයි කියලයි මෝටර් රථය ඇතුළට ගන්න අවසර ඉල්ලලා තියෙන්නේ. එවිට ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරියා කියා තිබෙනවා ASP ගේ අවසරය අවශ්‍යයි කියලා. එවිට මෝටර් රථයේ සිටි ගිහාන් නැමැත්තෙක් මාතර සහකාර පොලිස් අධිකාරි විජේසේකර නැමැත්තාට දුරකථනයෙන් කතා කර අවසර ලබාගෙන වාහනය ඇතුළට අරගෙන තිබෙනවා "
මෙහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා විවෘත අධිකරණය හමුවේ මෙසේ ප්‍රශ්න කළා.
" මොකක්ද සහකාර පොලිස් අධිකාරිවරයාට තිබෙන නෛතික බලය මේ අධිකරණ පරිශ්‍රයට මෝටර් රථයක් ගැනීමට අවසර දෙන්න. මොකද අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් පස්සේ මේ අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කළා. මටත් ඉහළින් ක්‍රියාත්මක වන්නේ මහාධිකරණ විනිසුරුවරයාගේ බලය. එක කඩාගෙන අතික්‍රමණය කරලා එන්න ASPට බලයක් ආවේ කොහොම ද? "
ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දැක්වීය.
" ඒක තමයි ස්වාමිනි. ඇප මත ඉන්න පුද්ගලයෙක්ගේ හැසිරීමක්ද මේ? සහකාර පොලිස් අධිකාරි, අධිකරණ පරිශ්‍රයේ සිටින පොලිස් නිලධාරින් සියල්ල එකතුවෙලා සැලසුම් සහගතවයි මෙය කරලා තියෙන්නේ. අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම මටත් වඩා තිබෙන්නේ ඔබතුමාට එම නිසා එක්කෝ ඇප දී ඇති නඩුවේ ඇප නිශේද කරන්න. නැත්නම් අධිකරණයට අපහාස කිරීමේ පනතේ 11 වැනි වගන්තිය යටතේ ක්‍රියාවලියක් ආරම්භ කරලා වැඩිදුර විමර්ශන සිදුකරන තුරු මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න"
අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දැක්වීය.
" ස්වාමිනි, මේ චෝදනා මම දැනගත්තෙත් අද. ඔය කියන ඔබේ නියෝගය නිකුත් වෙද්දි මගේ සේවාදායකයා සිටියේ රිමාන්ඩ් භාරයේ බන්ධනාගාර නිලධාරින් යටතේ. ඔහු අධිකරණ පරිශ්‍රයට වාහන ගන්න බැරි බව දැනුවත්ව සිට නැහැ. ඒ වගේම ඔහුට ඔබතුමන්ගේ නියෝගය ඇහිලත් නැහැ. ඔහු ඇප ලබා පහල මහලයට එද්දි සුදුපාට කාර් එකක් නවත්තලා තිබ්බා. ඔහු එකේ නැගලා ගියා. එය අධිකරණයට අපහාස කිරීමක් හෝ බලය අයුතු ලෙස භාවිත කිරීමක් නොවේ. නොදැනුවත්ව වූ සිදුවීමක්. මම සමාව ඉල්ලනවා මගේ සේවාදායකයා වෙනුවෙන් "
කෙසේ වෙතත් එහිදී මහේස්ත්‍රාත්වරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
" කොහොමද දන්නේ නැහැ කියන්නේ. ඔහු ඇරෙන්න වෙන කව්ද ඒක දන්නේ. වාහනය අධිකරණ පරිශ්‍රයට ඇතුල්කිරීම තමයි මෙතන ප්‍රශ්නය. කවුරුහරි නීතියට උඩින් අතපෙවීමක් කරලා තියෙනවා පෙනෙන විදිහට ASP.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ සහායට පොලිස් කණ්ඩායමක් නම්කර එවන්නැයි එම කමිටුව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
ඒ එම කමිටුව අද රැස්වූ අවස්ථාවේදීය.