චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

April 24, 2025   04:06 pm

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ල වූ චෝදනාවකට අනුබලදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකාරියකට අද (24) ඇප ලබා දී ඇත.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඉවත් කරගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය එවක ඌව පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) ලෙස කටයුතු කර ඇත.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මැයව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියට පමුණුවනු ලැබූ අවස්ථාවේදී මෙම ඇප නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාරියගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පළාත් සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මත තම සේවාදායිකාව කටයුතු කර ඇති බවයි.

ඇය පළාත් සභාවේ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කර ඇතැයි සඳහන් කළ විත්තියේ නීතිඥවරයා, මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇප මත මුදා හැර ඇති නිසාත් විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත් තම සේවාදායිකාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සැකකාරිය ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජුනි මස 17 වනදා නැවත කැඳවන ලෙසත් නියම කළේය.