ගුවනේ දී ගුවන් සේවිකාවට අතවරකළ ස්වීඩන් ජාතිකයාට දඩ

ගුවනේ දී ගුවන් සේවිකාවට අතවරකළ ස්වීඩන් ජාතිකයාට දඩ

April 24, 2025   02:51 pm

ගුවන් යානයක් පියාසර කරමින් තිබිය දී ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 26,500 දඩයක් නියම කර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පශ්චාත් තාපයට පත්වන බව සඳහන් කර තිබේ. 

සිද්ධිය වූ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවත් අපරාධයක් සිදුකිරීමේ චේතනාවක් ඔහු තුළ නොතිබූ බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කණගාටුවට පත්වන බවත් ඔහු වරද පිළිගන්නා බවත් පවසා ඇත. 

ඒ අනුව විත්තිකරුට රුපියල් 26,500ක දඩයක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව මාසයක් ලිහිල් සිර දඬුවම් නියම කරන බව පවසා තිබේ.

ගුවන්තොටුපොළ පොලීසිය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.