අල්ලස් ගත් ක්වාසි විනිසුරු 29වනදා දක්වා රිමාන්ඩ්

අල්ලස් ගත් ක්වාසි විනිසුරු 29වනදා දක්වා රිමාන්ඩ්

April 24, 2025   02:06 pm

රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනසිටි ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයා ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මෙම සැකකරු, බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.

දික්කසාද නඩුවක තීන්දුව කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා එය ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය 21වනදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. 

සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කළේය.