සෝලා ක්‍රියාවිරහිත කරන්නැයි යළිත් සිහිපත් කිරීමක්
April 13, 2025 11:05 pm
වහල මත සවිකර ඇති සූර්යබල පද්ධතිය තාවකාලිකව නවතා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් අද (13) පස්වරුවේ යළිත් ඉල්ලීමක් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, අප්‍රේල් 21වනදා දක්වා සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා ස්වේච්ඡාවෙන් තම පද්ධති අක්‍රියකරන ලෙසයි.
එමෙන්ම මේ පිළිබඳ සිහි කැඳවීමක් ලෙස සූර්ය බලශක්ති හිමිකරුවන්ට SMS පණිවුඩයක් මගින්ද දැනුම්දෙන බවයි.
අවුරුදු නිවාඩු කාලය තුළ පාරිභෝගික ඉල්ලුම අවම මට්ටමක පවතින අවස්ථාවක අව්ව සහිත තත්වයන් තුළ වහල උඩ සූර්ය බලශක්තියේ ඉහළ නිෂ්පාදනයක් ඇතිකරන බවත්, එමගින් ජාලක ස්ථායිතාව බරපතළ අවදානමකට ලක්වන බව එම මණ්ඩලය පවසයි.
මෙලෙස විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන විට සහ හිරු එළිය බහුල වනවිට ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ඕනෑම රටක් මෙම අභියෝගයට මුහුණදීමට සිදුව බව විදුලිබල මණ්ඩලය සිය නිවේදනයෙන් දන්වා සිටී.
බොහෝ කර්මාන්තශාලා සහ කාර්යාල මේ දිනවල වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලිය භාවිතය ඉතා අඩුයි.
එබැවින් දිවා කාලයේදී අධික සූර්ය බලශක්තියක් ජාලයට ගලාඑන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ හේතුවෙන් එම තත්ත්වය සමතුලිත කිරීම සඳහා විදුලිබල මණ්ඩලය ජලවිදුලි බලාගාර, ගල් අඟුරු සහ අනෙකුත් සියලුම තාප බලාගාර වැනි විශාල බලාගාර වසා දමන බවත් මෙම නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් පාරිභෝගිකයින් සිය සූර්ය පැනල වසා නොදමන්නේ නම්, විදුලිබල මණ්ඩලයට වහල මත සූර්ය පද්ධතිවලින් නිෂ්පාදනයවන විදුලිය පාලනය කළ නොහැක.
එයට ජාතික පද්ධතියට ඔරොත්තුදීමට නොහැකි වුවහොත් කුඩා දෝෂයකින් පවා වෝල්ටීයතාව හෝ සංඛ්‍යාත ගැටළු ඇතිකළ හැකි බව විදුලිබල මණ්ඩලය සිය නිවේදනයෙන් පවසයි.
වහල මත සූර්ය පද්ධති විදුලිබල මණ්ඩලයට පාලනය කිරීමට නොහැකි අතර, ප්‍රමාණවත් BESS හෝ දියුණු සූර්ය ඉන්වර්ටර් මෙරට තුළ නොමැත.
ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් මිලියන 7කට වඩා සිටින අතර, වහල මත සූර්ය බලශක්ති හිමිකරුවන් 100,000ක් පමණ සිටියි.
නමුත් ජාලය අස්ථායී වූ විට එය සෑම කෙනෙකුම අවදානමට ලක්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.