ශ්‍රී ලංකා පාස්පෝට් එකට ඇති පිළිගැනීම වැඩිවෙයි

ශ්‍රී ලංකා පාස්පෝට් එකට ඇති පිළිගැනීම වැඩිවෙයි

April 13, 2025   05:15 pm

ඩුබායි පදනම් කරගත් ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව මෙරට විදේශ ගමන්බලපත්‍රයට ඇති පිළිගැනීම ඉහළගොස් ඇත.

එම ආයතනය රටවල් 199ක් පදනම් කරගනිමින් මෙම වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ.

එහි ශ්‍රී ලංකාව 171වන ස්ථානයේ සිට 168වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉහළට පැමිණ ඇත.

ලොව පුරා එක් එක් රටවල විදේශ ගමන්බලපත්‍රවල ශක්තිමත් බව ප්‍රකාශයට පත්කිරීම සඳහා Nomad Capitalist ආයතනය නිර්ණායක 5ක් පදනම්කරගනු ලබයි.

වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයට රටවල් 57කට වීසා රහිතව හෝ පැමිණීමේ වීසා (on arrival visa) මත සංචාරය කිරීමට හැකිවීමත් මෙම ඉහළ යෑමට එක් හේතුවක් වී තිබේ.

Nomad Capitalist වාර්තාව අනුව අයර්ලන්තය මෙම වසරේ ලොව ඉහළම පිළිගැනීම ඇති විදේශ ගමන්බලපත්‍රය හිමි රට වේ.

වත්මන් අයර්ලන්ත විදේශ ගමන්බලපත්‍රයට වීසා රහිතව හෝ පැමිණීමේ වීසා සහිතව රටවල් 176කට ගමන්කළ හැකිය.

එහි දෙවන ස්ථානය ස්විට්සර්ලන්තය සහ ග්‍රීසියට හිමිව ඇත. 

මෙම රටවල් දෙකෙහිම පුරවැසියන්ට ලොව පුරා රටවල් 175කට වීසා රහිත හෝ වීසා මත පැමිණීමේ ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව තිබේ.

දකුණු ආසියානු රටවල් අතරින් මෙම වාර්තාවට අනුව ඉහළම පිළිගැනීමක් ඇති රට මාලදිවයින වන අතර, ඔවුන්ට ලොව 104වන ස්ථානය හිමිව ඇත.

මාලදිවයින් විදේශ ගමන්බලපත්‍රය හිමි අයෙකුට රටවල් 101කට වීසා නොමැතිව හෝ පැමිණීමේදී වීසා මත පැමිණීමේ ප්‍රවේශය භුක්ති විඳීමේ හැකියාව තිබේ.

දකුණු ආසියාව තුළ දුර්වලම විදේශගමන් බලපත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්තානයටයි. ඔවුන් ලෝක මට්ටම තුළද අවසන් ස්ථානයේ එනම් 199වන ස්ථානයේ රැඳී සිටියි.

දකුණු ආසියානු රටවල් අතර සෙසු දුර්වලම විදෙස් ගමන්බලපත්‍ර ඇති රටවල් වන්නේ පාකිස්තානය (ලොව 195), බංග්ලාදේශය (181) හා නේපාලය (180) යන රටවල්ය.

ඉන්දියාව මෙම වාර්තාවට අනුව 148වන ස්ථානයේ සිටින අතර, එහි පුරවැසියන්ට රටවල් 75කට වීසා රහිතව හෝ on arrival visa මත ගමන් කිරීමට හැකිය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ද අභිබවා යමින් භූතානයට 140වන ස්ථානය ලබා දී ඇත. 

එය මාලදිවයිනෙන් පසු දකුණු ආසියාවේ දෙවන ශක්තිමත්ම විදේශ ගමන්බලපත්‍රය බවට පත්ව තිබේ.