කුඩා ජල විදුලි බලාගාර ගැන ගත් තීරණයට මණ්ඩලයට විරෝධයක්
April 13, 2025 02:10 pm
අවුරුදු සමය උදා වීමත් සමග කුඩා ජල විදුලි බලාගාර රැසක් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති පියවර සම්බන්ධව කුඩා ජල විදුලි බලාගාර ප්‍රවර්ධකයින්ගේ සංගමය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
එම සංගමය චෝදනා කරනුයේ විදුලි බල මණ්ඩලය විසින් ජාලයේ ස්ථාවරත්වය හේතුවෙන් ගත් මෙම පියවර ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයට එල්ලවූ බරපතළ පහරක් වන බවත් ජාතියේ බලශක්ති සුරක්ෂිතතාවට එල්ල වූ සෘජු තර්ජනයක්ද වන බවය.
එම සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුඩා ජල විදුලි බලාගාර ශ්‍රී ලංකාවේ විදුලි ජාලයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන බවත් සූර්ය හා සුළං වැනි කඩින් කඩ ලැබෙන ප්‍රභවයන් මෙන් නොව, කුඩා ජල විදුලිය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අඛණ්ඩ හා විශ්වාසදායක බලශක්ති සැපයුමක් බවය.
එමෙන්ම මෙම බලාගාර තාවකාලිකව වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිවිපාක රැසකට විදුලි බල මණ්ඩලයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එම සංගමය පවසයි.
ඒ අනුව දිනකට පැය 08ක පමණ කාලයක් මෙගාවෝට් 450ක රටේ කුඩා ජල විදුලි ධාරිතාව ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට ලංවිම ගත් මෙම තීරණය හේතුවෙන් ජාතික පද්ධතියට ඒකක මිලියන 1.8ක සැපයුමක් අහිමි වන බවද එම සංගමය චොදනා කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ අවුරුදු සමයේදී කර්මාන්ත ශාලා, ව්‍යාපාරික ස්ථාන ඇතුළු බොහොමයක් ස්ථානවල විදුලි පරිභෝජනය අඩු වන බවත් මේ හේතුවෙන් විදුලි ඉල්ලුමේ අඩුවක් නිර්මාණය වන බවය.
ඒ අනුව පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සඳහා කුඩා ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාර තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීමට සිදුවන බවත් එම මණ්ඩලය සඳහන් කර සිටියේය.