අවුරුද්දට ආරක්ෂාව තරවෙයි - පොලීසියෙන් 35,000ක්
April 10, 2025 07:06 am
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
එම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.
විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර උත්සව සමයේ සිදුකළ විශේෂ වැටලීම්වල දී අවුරුදු සේල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 36 දෙනෙකුට එරෙහිව නිතිමිය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට පටහැනිව පාරිභෝගිකයින් නොමඟ යවන ආකාරයෙන් කටයුතු කළ වෙළෙඳුන්ට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක සේල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබීය.
ඒ අනුව ඇඳුම්, පැලඳුම් සහ විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බනධයෙන් වැඩි අවධානයක් යොමුකර මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
මේ අතර අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අවම කරගැනීමට ජනතාව පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
අලුත් අවුරුදු කාලසීමාව තුළ දරුවන් වැඩි වශයෙන් ගිනිකෙළි අනතුරුවලට ලක්වන බැවින් ගිනිකෙළි භාවිත කිරීමේදී ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය සඳහන් කළාය.