පුංචි ඡන්දයේ නාමයෝජනා හාරසියකට අධික ප්‍රමාණයක් ප්‍රතික්ෂේපයි
March 21, 2025 03:23 pm
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය 17 වැනි දින සිට ඊයේ (20) වැනි දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම් දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිදුකළ බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ඒ අනුව පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම් සිදුකළ බවය.
එමෙන්ම 2,900කට ආසන්න කණ්ඩායම් ප්‍රමාණයක් මෙම පළාත් පාලන ආයතන සඳහා තරග වදින අතර බවත් ඉන් දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති කණ්ඩායම් ප්‍රමාණය 2,260කට ආසන්න වන බවය.
එමෙන්ම 2,900කට අධික නාමයෝජනා පත්‍ර අතරින් 425කට ආසන්න නාමයෝජනා පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇතැයිද කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා,
"නාමයෝජනා මණ්ඩලයක් විසින් තමයි නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ. පනතේ 28 වගන්තියට අනුකූලව නාමයෝජනා පත්‍ර ලබා දිය යුතුයි. මේ ලිඛිතව සඳහන් නීතියට අනුව නාමයෝජනා පත්‍ර භාර නොදෙන ඕනෑම අපේක්ෂක කණ්ඩායමක නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට නාමයෝජනා මණ්ඩලය සිදුකරනවා. ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පසු සෑම ප්‍රතික්ෂේප වූ කණ්ඩායමකට ලිඛිතව හේතු ඇතිව ප්‍රතික්ෂේප කිරීමට හේතුවත් දැනුම්දෙනවා."