GMOA වර්ජනයකට සැරසෙයි

GMOA වර්ජනයකට සැරසෙයි

March 11, 2025   04:14 pm

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි.

කෙසේ නමුත් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාත තුළ වර්ජනයක් සිදුකරන බවට ද එම සංගමය අනතුරු අඟවා ඇත.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ බලවත් කම්පනය හා විරෝධය දක්වන බව දැනුම්දී තිබේ.
 
ඊයේ දිනයේ සිය රාජකාරි පරිශ්‍රය තුළදී හදිසි රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි වෛද්‍යවරියකට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධ සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ බරපතළ ලිංගික හිංසනයට සම්බන්ධ වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට හසුකරගෙන අදාළ නෛතික ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශවලට අවධාරණය කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටී.