මාතර අධිකරණයෙන් දේශබන්දුට විවෘත වරෙන්තුවක්

මාතර අධිකරණයෙන් දේශබන්දුට විවෘත වරෙන්තුවක්

March 11, 2025   03:25 pm

අධිකරණය මඟහැර සැඟව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් බී. ඒ. අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (11) නියෝග කළේය. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ ඉල්ලීමක් අනුවය.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර අදට දින 13කි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඔහුගේ හෝකන්දර සහ ගිරිඋල්ල නිවෙස් මෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මාතර මාලිම්බඩ පිහිටි නිවස පරීක්ෂා කෙරුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයා උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට හැකියාව පවතින බවය. 

මෙවන් පසුබිමක තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥයින් ගොනුකළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 12 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.

කෙසේවෙතත් අදාළ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥයින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ කෙටි අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියත්  අභියාචනාධිකරණය එවැනි නියෝගයක් නිකුත් නොකළේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (11) යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල  සැකකටයුතු ස්ථාන 10ක් පරීක්ෂාවට ලක්කළ බවය.

එමෙන්ම තවත් ස්ථාන 18ක් සඳහා බුද්ධි නිලධාරින් යොදවා තිබෙන බව ද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පොලිස්පතිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

මේ අතර සැඟව සිටින පොලිස්පතිවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 9ක් යොදවා තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා සබඳතා පැවැත්වූ පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසද ඉදිරියේදී පරීක්ෂා කිරීමට නියමිත බව වාර්තා  වේ.