දකුණු කොරියානු E-8 රැකියාවලට මෙතෙක් අනුමැතිය හිමිවී නෑ
March 11, 2025 03:09 pm
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි කාලීන රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට මෙතෙක් අනුමැතිය හිමිවී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් කිසිදු තොරතුරු රැස්කිරීමක් සිදු නොකරන බවත් සභාපතිවරයා පැවසීය.
විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් මේ දිනවල දකුණු කොරියාවේ E-8 රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරිමට තොරතුරු රැස්කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
“මේ වන තෙක් අපිට රජයෙන් අනුමැතිය ලැබිලා නෑ E-8 වීසාවලට පුද්ගලයින් යවන්න. E-8 වීසා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සාකච්ඡා මෙහෙයවීමට අපි මූලික වශයෙන් කැබිනට් අනුමැතිය ලබාගත්තා. පුද්ගලයින් රැකියා සඳහා යවනවා කියන්නේ එකක්, ඒ සඳහා සාර්ථක කරගැනීමට සාකච්ඡා මෙහෙයවනවා කියන්නේ එකක්. අපි ඒකෙදි කරන්නේ E-8 රැකියාවලට මොනවගේ දේවල්ද අපි සලකා බලන්නේ? වයස, හැකියාවන් මොනවගේ වෙන්න ඕනිද? වැටුප, රැඳි සිටින කාලය කුමක්ද? නැවත රටට ගෙන්න ගන්නේ කොහොමද? අපේ ඉල්ලීමක් තියෙනවා මාස 8ක් නම් කාල සීමාව ඒ වගේ තුන්වාරයක් ඔවුන්ට ඒ රටේ රැඳිඉන්න දෙන්න කියලා. එතකොට වසර 2ක් වගේ කාලයක් ඒ රටේ ඉන්න පුළුවන්. උපයාගන්න පුළුවන් මුදල හොඳයි, ඒ වගේ හොඳ ආර්ථික තත්ත්වයක් ඇතිකර ගන්න පුළුවන්.
මාස 8ක වගේ කාලයක් රැකියාව හිමිවෙන නිසා ඔවුන්ගෙන් අයකරන මුදල අඩුකරන්න ඕනි. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපි අපේ අභිලාෂයන් කොරියානු රජයට දැනුම්දීලා තියෙනවා. තවම කොරියානු රජයෙන් අපිට නිසි පිළිතුරක් ලැබුණේ නෑ. මේ කටයුතුවලට යම් කිසි කාලයක් ගතවෙයි.
ඒ නිසා කිසියම් භාහිර පාර්ශවයක් කියනවා නම් E-8 වීසාවලට දකුණු කොරියාවට යවන්න පුළුවන් කියලා. ඒක අසත්‍යක්. මුදල්, පාස්පෝර්ට් එකතු කරනවා නම් ඒක වැරදියි. කාර්යාංශයටත් රැකියා සඳහා බඳවාගැනීම් කරන්න අවසර හිමිවෙන්නේ දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව පමණයි. ඒ අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න යම් කිසි කාලයක් ගතවෙනවා.
සමාජ මාධ්‍යවල මේ දිනවල පළවෙමින් තියෙනවා විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා E-8 වීසාවලට තොරතුරු එකතුකරනවා කියලා. මම ඒ තොරතුරු පරික්ෂා කලා. ඒ ආයතනය අභිලාෂයක් කැඳවන තොරතුරු එකතු කිරීමක් පමණයි සිදුවෙන්නේ සියළුම රටවලට. ඒ දකුණු කොරියාවේ E-8 රැකියාවලට නෙවෙයි.
පසුගිය වසරේ ඔවුන් ලබාදුන්නේ රැකියා 564ක් පමණයි. කරුණු අධ්‍යනය කරලා ඔවුන් තීරණය කළා මේ වසරේ අවම වශයෙන් 2500ක පිරිසක් යැවිය යුතුයි කියලා. ඒ රැකියා අවස්ථා ලබාදෙන්න සුදුස්සන් තෝරාගන්න ඔවුන් තීරණය කළා විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ අභිලාෂයන් කැඳවිය යුතුයි කියලා. ඒ කියන්නේ සුදුසුකම් මොනවාද, භාෂා හැකියාවන්, පළපුරුද්ද මොනාද කියලා තොරතුරු රැස් කරන්න වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු රැස්කළා. ඒකට එළියේ මාධ්‍ය වැරදි වැටහීමක් ඇතිකරගෙන තියෙනවා E-8 රැකියාවලට තොරතුරු එකතු කරනවා කියලා. ඒ අතර කිසිම සම්බන්ධයක් නෑ. ඒක නිසා නොමග යන්න එපා. E-8 රැකියාවලට තොරතුරු එකතු කරන්න හෝ අභිලාෂයන් කැඳවන්න කිසිම අවසරයක් නෑ.
ඒක නිසා විදේශ රැකියා අමාත්‍යවරයාගෙ, අමාත්‍යාංශ ලේකම්ගේ, කාර්යාංශ සභාපතිගේ දැන හැඳුනුම්කම් තියෙනවා කියලා මුදල් එකතු කරන කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා. ඒක සම්පූර්ණ නීතිවිරෝධි ක්‍රියාවක්. මට දැනටමත් පැමිණිලි 2ක් ලැබිලා තියෙනවා. මම විමර්ශන අංශයට භාරදුන්නා ඔවුන් අත්අඩංගුවට ගන්න කියලා."