විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

March 10, 2025   05:39 pm

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය.

අද (10) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අනාවරණය කළේ වැටුප් වැඩිවීමත් සමග ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සම්පූර්ණ වැටුප රුපියල් ලක්ෂ 6 ඉක්ම වන බවය.

"මේ වැටුප් වැඩිවීමේදී අපි ගත්තොත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දැන් තියෙනව වැටුප 139,075යි නමුත් මේ වැටුප් වැඩිවීමත් එක්ක මූලික වැටුප 237,530 දක්වා වැඩි වෙනවා. ඒ වගේම මහාචාර්යවරයෙකුට 117,350 තියෙන වැටුප 198,280 දක්වා වැඩිවෙනවා." 

"මෙහි සම්පූර්ණ විස්තර ටික ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අධ්‍යන කාර්ය මණ්ඩලයේ වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයෙත් මූලික වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවෙනවා. ඒ වගේම අපේ අධ්‍යන කාර්ය මණ්ලයට සමහර අවස්ථාවලදි විශේෂ දිමනාවක් තියෙනවා. උදාහරණය හැටියට පර්යේෂණ දීමනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු ශ්‍රේණියේ ඉන්න කෙනෙකුට දැන් ලැබෙන්නේ පර්යේෂණ දීමනාව රුපියල් 27,776ක ප්‍රමාණය රුපියල් 28,189 දක්වා වැඩිවෙනවා. පරිවාස කාලයේ ඉන්න කථිකාචාර්ය දැන් ලැබෙන රුපියල් 10,920ක මුදල රුපියල් 19,910 දක්වා වැඩිවෙනවා. එතකොට පර්යේෂණ දීමනාව වැඩිවෙනවා."

"විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අධ්‍යන දීමනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 290,876යි ඒක රුපියල් 316,034 දක්වා වැඩියෙනවා. මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන අධ්‍යන දීමනාව රුපියල් 238,221යි ඒක රුපියල් 259,108 දක්වා වැඩිවෙනවා. සමහර වෙලාවට අනුපාතයන් අතර වෙනස්කමක් ඇතිවෙන්න පුළුවන්. ඒ අනුපාතයන්වල වෙනස්වීම් ඇති වුණත් සංඛ්‍යාත්මකව ගතහොත් දැන් ලැබෙන අධ්‍යන සහ පර්යේෂණ දීමනාවල වැඩිවීමක් දක්නට ලැබෙනවා." 

"ඒ වගේම අනධ්‍යන කාර්යමණ්ඩල සඳහා අපි දන්නවා මූලික වැටුප වැඩිවෙනවා වගේම ඔවුන්ට ලැබෙන මාසික හිළවු දීමනාව වැඩිවෙනවා. ඒ මාසික හිළවූදීමනවා වැඩිවෙන හැටි උදාහරණයක් හැටියට ගතහොත් ලේඛකකාධිවරයෙකුට දැන් ලැබෙන රුපියල් 46,800ක මාසික හිළවූ දීමනාව රුපියල්  65,093 දක්වා වැඩිවෙනවා. පහළ ශ්‍රේණියේ ඉන්න කෙනෙකුට දැන් ලැබෙන මාසික හිළවු දීමනාව රුපියල් 12,161යි මේක රුපියල් 15,069 දක්වා වැඩිවෙනවා. ඒ විදිහට ගත් විට සියලුම මූලික වැටුප මාසික හිළවූ දීමනාව අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහාත් වැඩිවෙනවා." 

"ඒ අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන සම්පූර්ණ වැටුප රුපියල් 529,397 සිටි රුපියල් 619,860 දක්වා වැඩිවෙනවා. මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන රුපියල් 440,913ක වැටුප රුපියල් 515,844 දක්වා වැඩිවෙනවා."