ජපානයේ හෙද සත්කාර රැකියා රැසක්
March 1, 2025 02:59 pm
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් එම කාර්යාංශය පවසා සිටියේ, එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව ඇති බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිව තිබේ.
වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා හිමිවන අතර, අවම වැටුප රුපියල් ලක්ෂ 4කට අධික බවද මෙම නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති ප්‍රධානම විශේෂත්වයක්ය.
රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වේ.
JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ද මේ සඳහා අයදුම්කළ හැකිය.
අයදුම්කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වේ.
එමෙන්ම ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk/si/ ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.
මේ අතර මෙම රැකියා වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා හිමි වූ පිරිසක් හෙට (2) ජපානය බලා පිටත්වයාමට නියමිතව තිබේ.