අධිකරණයේ ගොඩ ගැසුණු නඩු ලක්ෂ 11 ඉක්මවයි
February 28, 2025 07:28 pm
අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක්විය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත (pending) නඩු 5,785 ද, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හී නඩු 6,286ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6,146ක්, විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු 3ක්, මහාධිකරණයේ නඩු 27,324ක්, දිසා අධිකරණයේ 262,665ක්, ළමා මහෙස්ත්රාත්ධිකරණයේ නඩු 1,260ක් යනාදී වශයෙන්, සමස්ත ලෙස විසඳීමට නියමිත (pending)නඩු සංඛ්‍යාව 1, 131,818ක් වන බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.
නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීහු කියා සිටියහ.
මේ පිළිබඳව සාකච්ඡා වුයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයක් පවත්නා බව මන්ත්‍රීවරු පැවසීය. දිවයින පුරා පොලිස් කොට්ඨාස මඟින් ලැබෙන්නා වූ අපරාධ නඩු විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට අනුයුක්තව ඇත්තේ රජයේ අධි නීතිඥවරු 70ක් පමණ බව පැමිණ සිටි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
තව ද, පවරා ඇති නඩු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා රජයේ අධි නීතිඥවරයෙක් වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුද්දකින් යුක්ත විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන සාධකයක් බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ ප්‍රමාදයන් පිළිබඳව කතිකාව කලක සිට පවතින බවත්, දෙපාර්තමේන්තුව සතු නීති නිලධාරීන් පවත්නා නඩු ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කරුණු දක්වමින් පැවසුවේය.
තව ද, අවු. 30කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජනරාල්වරු 6 දෙනෙකු පමණ මේ වසර තුළ සේවය හැර යන බව පැවසු ඒ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට අවධාරණය කළේය.
මෙම රැස්වීම සඳහා ගරු ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා, ගරු කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.