හදිසියේ පාර්ලිමේන්තු ආ ජනපතිගෙන් සැර කතාවක්

හදිසියේ පාර්ලිමේන්තු ආ ජනපතිගෙන් සැර කතාවක්

February 28, 2025   05:44 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (28) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට සභාව අමතමින් සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.

 

"තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න ඒක අවසන් දැන්. අපේ රටේ ආණ්ඩු පෙරළුණ ඉතිහාසය දිහා බලද්දි විවිධ අවස්ථා හඳුනාගන්නවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියලා සිහින දකිනවා නම් ඒක සිහිනයක්ම පමණයි. ඒවා වෙන්නේ නෑ. ඒවට වචන, කාලය නාස්ති කරන්න එපා ඒවා කියන්න. ඒවා වෙන්නේ නෑ. ඊළඟට අපේ රටේ ආණ්ඩු වැටුණ ඉතිහාසයක් තියෙනවා පක්ෂ ඇතුළේ අර්බුද නිර්මාණය කරලා. 2001 දී චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව බිඳවැටෙනවා. ප්‍රධාන හේතුව ආණ්ඩුවේ හිටිය පිරිසක් එහා පැත්තේ ගිහින් වාඩිවෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් ආණ්ඩු වැටුණ අවස්ථා තියෙනවා. 

හැබැයි ඔබ හිතන්න මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක්. සමහරු උත්සාහ කරනවා මාව ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අයව පහත් කරන්න. ඒවාට අපි අහුවෙන්නේ නෑ. බොහෝම ස්තූතියි. එයා නම් හොඳයි අනිත් අය නරකයි. ඒවා උඟුල් හොඳේ. ඒ උඟුල්වලට අපි අහුවෙන්වා ද ? ඒ නිසා ඔබ හිතනවා නම් අභ්‍යන්තර අර්බුදයක් හරහා ආණ්ඩුව වට්ටන්න එහෙම වෙන්නෙත් නෑ.

එතකොට ඔයාලා කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතළ තර්ජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳවැටෙයි කියලා. ඒක වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න වෙයි රිසච් එකක් කරලා.

ඊළඟට තව ආණ්ඩු වැටුණ අවස්ථා තියෙනවා ජනතාව පාරට බැහැලා, උද්ඝෝෂණ කරලා, පාලකයෝ පළවා හැරියා ඉතිහාසයේ. ඔබට මාධ්‍ය සාකච්ඡා හරහා දෙයක් කියනවා හැරුණහම, සභාගර්භයේ යමක් කියනවා හැරුණුකොට මම හිතන්නේ නෑ සෙනඟ එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජන විරෝධයක් හරහා ආණ්ඩුව පළවා හරින්න කල්පනා කරනවා නම් ඒ සියල්ල අසාර්ථකයි"