චැම්පියන්ස් කුසලාන වාර්තාපොත සද්‍රාන් අලුත් කරයි

චැම්පියන්ස් කුසලාන වාර්තාපොත සද්‍රාන් අලුත් කරයි

February 26, 2025   08:18 pm

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 තුළදී ලකුණු 325/7ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදී ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් වටිනා ශතකයක් රැස්කළේය.

ඔහු ලකුණු 177කින් ඇෆ්ගන් ඉනිම පෝෂණය කළේය.

සද්‍රාන්ගේ මෙම ඉනිම ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

ඔහු විසින් බිඳහෙළනු ලැබුවේ මීට දින 4කට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී එංගලන්තයේ බෙන් ඩකට් ලකුණු 165ක් රැස්කර පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර පන්දු 146කට මුහුණදෙමින් සද්‍රාන් ගොඩනැගූ මෙම ඉනිම ඇෆ්ගන් පිතිකරුවෙකු එක්දින තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව  ලෙස වාර්තා අතරටද එක්විය.

කෙසේ නමුත් මීට පෙරද එම වාර්තාව ඔහු සතුව තිබූවකි.

2022 වසරේ පල්ලෙකැලේ පැවති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 162ක් රැස්කර එම වාර්තාව ඔහු පිහිටුවා තිබුණි.