කොටහේනේ සිද්ධිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

කොටහේනේ සිද්ධිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

February 26, 2025   06:03 pm

අත්අඩංගුවට පත්වන සැකකරුවන් සියලුදෙනාගේ ජීවිත මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ද ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

කොටහේන ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (26) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"දැන් බොහෝ අය ජාතික ආරක්ෂාව ගැන ඕනවටත් වඩා කතා කරන්න පටන් අරන්. ඇති තරම් දේශපාලනඥයෝ මේ රටේ පාතාලය හදන්න, පෝෂණය කරන්න, පවත්වාගෙන යන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ ගැන ඕනවටත් වඩා සාක්ෂි තියෙනවා. එහෙම කරලා හදපු පාතාලයේ සිද්ධි තුන හතරක් වෙනකොට ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා.ජාතික ආරක්ෂාවේ අර්ථයවත් දන්නේ නැතුව. තමන්ට මොනවා හරි ආරක්ෂාවක් ලබාගන්න."

"අපේ මන්ත්‍රීවරු 159ක් ඉන්නවා. ආරක්ෂාවක් නැතුව. පසුගිය දින කිහිපයේම විපක්ෂය මහා ලොකුවට ඝෝෂාවක් කරනවා.. ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ජාතික ආරක්ෂාව ස්ථාපිත වෙලා තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. සිද්ධීන් සිද්ධ වෙනවා. පොලීසිය දින දෙක තුනක් ඇතුළත ඒවා සොයා ගන්නවා. හොඳ විමර්ශකයින් ඉන්නවා අපිට. උස්වැටකෙයියාවේ වගේම මිද්දෙණියේ ඝාතන සිද්ධ වුණා. ඒවායේ අපරාධකරුවන් ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගත්තා."

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක්විය.