අනවසර සංක්‍රමණිකයින් අමෙරිකාවෙන් පිටුවහල් කරයි

අනවසර සංක්‍රමණිකයින් අමෙරිකාවෙන් පිටුවහල් කරයි

February 21, 2025   11:11 pm

අමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 100කට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට මාරුකර යවා ඇත.

පැනමා අගනුවර පිහිටි හෝටලයක සිටි එම පිරිස එරට ඩැරියන් වනාන්තර කලාපයට මාරුකර ඇති බව පැනමා රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පැනමා ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඉකුත්දා අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 299 දෙනාගෙන් 13 දෙනෙකු ඔවුන්ගේ මව් රටවලට ආපසු යවා ඇති බවයි.

එලෙස මව් රට බලා යෑමට කැමැත්ත පළකළ තවත් 175 දෙනකු පැනමා නගරයේ හෝටලයක රැඳී සිටි බවද එම අමාත්‍යංශය පවසයි.

පැනමා රජයට අනුව, එම සංක්‍රමණිකයන් ප්‍රාදේශීය බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සහ අමෙරිකාවට සම්බන්ධ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය හරහා අමෙරිකාවේ මූල්‍ය ආධාර යටතේ අදාළ හෝටලයේ රැඳී සිට තිබේ.

එම සංක්‍රමණිකයන් අතර ඇෆ්ගනිස්තානය, චීනය, ඉන්දියාව, ඉරානය, නේපාලය, පාකිස්තානය,  ශ්‍රී ලංකාව, තුර්කිය, උස්බෙකිස්තානය සහ වියට්නාමය යන රටවලින් පැමිණි පුද්ගලයන් සිටි බව පැනමා රජය පවසා ඇත.

ඔවුන් පැනමාවට පැමිණ ඇත්තේ අමෙරිකාවෙන් පිටුවහල් කළ පසු එම පිරිස භාරගැනීමට පැනමාව කැමැත්ත පළකිරීමෙන් අනතුරුව බවද එහි සදහන් වේ.

අනවසර සංක්‍රමණිකයන් පිටුවහල්කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය විසින් මේ වනවිට සංක්‍රමණිකයන් පිටුවහල් කරමින් සිටියි.

ට්‍රම්ප්ගේ එම සැලැසුමට එල්ල වී ඇති එක් අභියෝගයක් වන්නේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා හෝ වෙනත් හේතූන් මත අමෙරිකාවෙන් පිටුවහල් කෙරෙන පිරිස් රැගත් ගුවන් යානා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රටවලින් පවා සංක්‍රමණිකයන් අමෙරිකාවට පැමිණ සිටීම බව සඳහන්වේ.