වැලිවිට සුද්දාගේ රථ වාහන කිහිපයක් මුදා හැරීමට නියෝග
February 21, 2025 06:26 pm
2024 වසරේදී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ පොලිස් අත්අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් "වැලිවිට සුද්දා" ගේ රථ වාහන කිහිපයක් මුදා හරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය අද (21) නියෝග කළාය.
බස් රථ 5ක්, මෝටර් රථයක්, සහ යතුරුපැදියක් මෙලෙස අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය මෙලෙස නියෝග කළාය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් මෙම රථ වාහන පොලිස් භාරයට ගෙන තිබුණි.
එම වාහන සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මස 17 හෝ ඊට නුදුරු දිනයකදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුනු වාර්තා කිරිමකින් පසු අදාළ රථ වාහන අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය නියෝගයක් ලබා දී තිබුණි.
පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් ඒකකය සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ සිල්වා යන අය විසින් හෝමාගම මහාධිකරණය වෙත කරුණු දැක්වීමෙන් පසු අදාළ නියෝගය බල රහිත කරන ලෙස එවකට හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් නියෝගයක් ලබා දී තිබුණි.
ඒ අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත නිදහස් කර තිබූ වැලිවිට සුද්දා නැමැත්තාට අයත් මෙම වාහන යළි නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් පොලිස් භාරයට ගෙන තිබුණි.
මෙම රථ වාහන සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ දී ලබා ගත් තහනම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය හෝමාගම මහාධිකරණ මගින් තවදුරටත් දීර්ඝ නොකිරීමට මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඉර්ෂඩීන් මහතා නියෝගයක් ලබා දී තිබූ අතර අදාළ නියෝගය මහෙස්ත්‍රාත්වරිය විසින් සලකා බලා මෙලෙස එම රථ වාහන මුදා හැරීමට නියෝග කළාය.
තම භාරයේ තිබෙන බස් රථ පහ මෝටර් රථය සහ යතුරුපැදිය වාහන බැදුම්කරයක් මත මුදා හරින ලෙසට නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවටද මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.