මේ අයවැය ඓතිහාසික අයවැයක් - ජනපති
February 17, 2025 05:14 pm
ජනවරම තුලින් පිලිබිඹු වන අපේක්ෂාවන් ඉටු කරලීමේ අරමුණින් යුතුව තිරසාර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් කරා අවශ්‍ය වන ආර්ථික පදනම සකසන මෙම අයවැය ඓතිහාසික අයවැයක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (17) පාර්ලිමේන්තුවේදී සිය රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් පහතින්,
"ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.
ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්‍යුහාත්මකයි.
දූෂිත පාලනයන්, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් සහ වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය මෙම අර්බුදයේ මූලයයි. මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල සාමාන්‍ය තත්ත්වය බිඳ වැටුණා.
එය ව්‍යාපාරවල සිට කුටුම්භ දක්වා සියලු අංශ සහ සමාජ කණ්ඩායම් විසින් අත්විඳිනු ලැබුවා. ඉන්ධන, විදුලිය, අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ හා සේවා හිඟය හේතුවෙන් රටේ ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන්, ළමයින්, ආබාධ සහිත පුද්ගලයන් සහ වැඩිහිටි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා.
වෘත්තීයවේදීන් රට අත් හැර ගියා. ජනතාවට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දින ගණන් දීර්ඝ පෝලිම්වල රැඳී සිටීමට සිදු වුන අතර ඇතැමුන් පෝලිම්වල රැඳී සිටියදීම මිය ගියා.
2022 වසරේ දී ඇති වූ මෙම අර්බුදය හුදු ආර්ථික අර්බුදයක් පමණක් නොවේ, එතෙක් පැවැති දේශපාලන බලයේ දැවැන්ත අසාර්ථකත්වයක්.
අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මඟින් ආරම්භයේ දී වූ ආර්ථිකයේ බිඳවැටීම සැලකිය යුතු දුරකට පාලනය කර ඇතත්, 2022 වසරේ දී ඇති වූ ආර්ථික අර්බුදය සමාජයේ දුප්පත්ම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස්වලට බලපාන මානුෂීය අර්බුදයක් බවට පරිවර්තනය වී තිබෙනවා.
ආර්ථික හා සමාජීය වශයෙන් ඔබ්බට යමින් අර්බුදය රට තුළ දේශපාලනමය වශයෙන් වෙනසක් ද ඇති කළා. දරාගත නොහැකි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බලයෙන් ඉවත්වීමට බලකරමින් දූෂිත පාලකයින්ට විරුද්ධව ජනතාව නැගී සිටියා. ජනතා බලය විසින් ඔවුන් පලවා හරිනු ලැබුවා.
අනතුරුව, ජනවරම විකෘති කරපු තාවකාලික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. මෙම තාවකාලික රජය දූෂිතයන් ආරක්ෂා කිරීම, දූෂණයේ යෙදීම, මහජන මුදල් නාස්ති කිරීම, ජනතා මර්දනය පෙර පරිදිම සිදු කළා. ඒ නිසාම සමාජ, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් සඳහා වූ ජනතා අභිලාෂයන් ඉටු වුනේ නෑ. 2023 වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ පළාත් පාලන මැතිවරණය කල් දැමීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව ද ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමුවා.
2024 වසර අග දී පැවැත්වූ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුලින් රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රමය වෙනස් කරමින්, පොදු සමෘද්ධිය කරා රට යොමු කිරීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයකින්, කැපවීමෙන් හා නායකත්වයෙන් ශක්තිමත් ජන වරමක් සහිත නව රජයක් පිහිටුවීමට ජනතාව ඉදිරිගාමී තීරණයක් ගනු ලැබුවා.
එම ජනවරම තුලින් පිලිබිඹු වන අපේක්ෂාවන් ඉටු කරලීමේ අරමුණින් යුතුව, තිරසාර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් කරා අවශ්‍ය වන ආර්ථික පදනම සකසන මෙම අයවැය ඓතිහාසික අයවැයක් වෙනවා.
ආරම්භයේදීම අප මුහුණ දුන් එක් අභියෝගයක් වූයේ මෙම ජයග්‍රහණය වැලැක්වීමට උත්සාහ කළ අය විසින් අපගේ ආර්ථික ප්‍රතිපත්තියට සහ දැක්මට එරෙහිව ව්‍යාප්ත කරන ලද මිත්‍යාවන් සහ ද්වේෂසහගත ප්‍රචාරයන් විසින් ඇති කරන ලද වැරදි ප්‍රතිරූපය නිවැරදි කිරීමයි.
එයට අප සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනු ඇතැයි ද, ඉන්ධන පෝලිම් යුගයක් යළි එනු ඇතැයි ද, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ රටවල් නව රජය හුදකලා කරනු ඇතැයි ද, ආයෝජකයන්ගේ විශ්වාසය නැති වී යනු ඇතැයි ද, පෞද්ගලික දේපොළ සම්පූර්ණයෙන්ම ජනසතු කරනු ඇතැයි ද යන වැරදි මත ප්‍රකාශ වුණා. අපට එරෙහිව එවැනි සෘණාත්මක ප්‍රචාරණයක් සිදු වුනත්, ආර්ථිකය ස්ථාවර කිරීමටත්, ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජකයින් අතර විශ්වාසය ඇති කිරීමටත් අපට හැකි වුණා.
ඒ අනුව, වාර්ෂික භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය සියයට 8.8 දක්වා අඩු වීමත් සමග මූල්‍ය අංශය ක්‍රමයෙන් ස්ථාවර වූ අතර, 2024 වසරේ දෙසැම්බර් මස එ. ජ. ඩොලර් මිලියන 570 ක ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල ගෙවීම් සිදු කිරීමෙන් පසුව වුවද 2024 අවසානයේදී විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 6.1 ක මට්ටමක පවත්වා ගැනීමට අප සමත් වුනා. මීට අමතරව, මුදල් අවප්‍රමාණය වීම පිළිබඳ සැක සංකාවන් පවතිද්දී වුවද, දළ වශයෙන් ඩොලරයට රුපියල් 300 ක් පමණ ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වුණා. 2025 වර්ෂය සඳහා සියයට 5 ක පමණ ආර්ථික වර්ධනයක් අප අපේක්ෂා කරනවා.
2022 වසරේ මැද භාගයේ සිට, අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා.
මෙම අර්බුද සමනය කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග - විශේෂයෙන්ම පිරිවැය මත බලශක්ති මිල ගැලපුම, බදු වැඩි කිරීම් සහ පොලී අනුපාත ඉහළ දැමීම් වැනි පියවර පුරවැසියන් මත පීඩනයක් එල්ල කළා.
ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන මගින් ඉටු කරන ලද කාර්යභාරය අප වටහාගෙන ඇති අතරම, අපගේ ආර්ථික න්‍යාය පත්‍රය අප විසින්ම සකසා ගැනීම වෙනුවෙන් ආර්ථික ස්වෛරීත්වය ලගා කරගැනීම අත්‍යවශ්‍ය බව අපගේ අදහසයි.
මෑත අතීතයේ දී ආර්ථිකයේ සිදුවූ තවත් ප්‍රධාන කරුණක් වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් කිරීමයි.
ඇත්තෙන්ම අප බලයට පත්වන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටි අතර එයට සැළකිය යුතු වෙනසක් සිදුවුවහොත් එමඟින් ආර්ථිකය අස්ථාවර වීමට ඇති විය හැකි බලපෑම හමුවේ ඊට බාධා කිරීමට අපට අවශ්‍ය වූයේ නැහැ.
මෙම තීරණය ගැනීමේදී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය සහ එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීම විසින් ඇති විය හැකි අමතර වියදම් පිලිබඳව ද අප සලකා බැලුවා.
මේ තුලින් සැලකිය යුතු මට්ටමින් ණය සහනයක් ලැබී ඇති අතර, මෙය ණය සේවාකරණයට අදාළ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරයි. විදේශ හා රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක ශක්තිමත් කිරීමට, අපනයන වර්ධනය සහ විදේශ ආයෝජන වැනි ණය වර්ධනය නොවන ලැබීම් වැඩි දියුණු කිරීමට සහ දිගු කාලීන මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා වන ලෙස අනාගතයේ දී ණය ආපසු ගෙවීම ක්‍රමවත්ව නැවත ආරම්භ කිරීමට මෙම රාජ්‍ය මූල්‍ය අවකාශය ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) සහ මූඩීස් (Moody’s) වැනි ප්‍රමුඛ ගෝලීය නියෝජිතායතන විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් එකවර කාණ්ඩ කිහිපයකින් ඉහළ නැංවූවා. ඒ අනුව ක්‍රමයෙන් ආයෝජකයින්ගේ විශ්වාසය ගොඩනැගීම, වෙළඳාම සහ ආයෝජන අවස්ථා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පිරිවැය අඩු කිරීම තුලින් ආර්ථික වර්ධනය ලගා කරගැනීමට අවස්ථාව විවෘත වී තිබෙනවා.
අනෙක් අතට, ඇති කළ ආර්ථික අර්බුදය බොහෝ දෙනෙකුට, විශේෂයෙන් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම්වලට අඛණ්ඩව බලපෑම් කරමින් තිබෙනවා.
2022 වසරේ දී උද්ධමනය සියයට 70 දක්වා ඉහළ යාම ජීවන වියදම විශාල ලෙස ඉහළ යාමට හේතු වුණා. උද්ධමනය දැන් පහත වැටී තිබුනත්, බොහෝ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් තවමත් ඉහළ මට්ටමක තිබෙන අතර මිල වැඩි වූ තරමට ජනතාවගේ ආදායම් වැඩිවීමක් සිදු වුනේ නැහැ.
ඒනිසා ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටී තිබෙනවා. විශේෂයෙන්ම, පසුගිය වසර දෙක තුළ මූර්ත වැටුප සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු වෙනවා. තවද, රජය අස්වැසුම වැඩසටහන හරහා ආධාර ලැබිය යුතු ඉලක්කගත ප්‍රජාව වෙත ලැබෙන මුදල් ප්‍රදාන වැඩි කර, ප්‍රතිලාභ ලැබෙන කාලසීමාව දීර්ඝ කර ඇති අතර අවශ්‍යතා ඇති අයට සහන සැලසීම සඳහා වෙනත් සමාජ ප්‍රතිලාභ ලබා දී තිබෙනවා.
කෙසේ වුවත්, ශ්‍රී ලංකාව තුළ පැතිරී ඇති දිළිඳුකම තුරන් කිරීම සඳහා මෙවැනි මුදල් ආධාර පමණක් ලබාදීම් තිරසාර විසඳුමක් නොවේ. විවිධ දුෂ්කරතා සහ අභියෝග හේතුවෙන් ඵලදායී ආර්ථික කටයුතුවල නිරත වීමට නොහැකි පුරවැසියන් රැක බලා ගැනීම මානුෂික රජයක යුතුකමයි.
අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් ඇතුළත් කිරීමේ සහ බැහැර කිරීමේ දෝෂ ඇති බව අප කවුරුත් දන්නවා. එම වැඩසටහන සඳහා වඩාත් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට රජය සැලසුම් කර තිබෙන්නේ ඒ නිසයි. ඒ අතරම, සියලු ජනතාවට ඔවුන්ගේ උපරිම විභවතාවයෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල නියැලීමේ අවස්ථා වැඩි දියුණු කිරීම තුළින් දරිද්‍රතාවය පිටුදැකීම සඳහා තිරසාර විසඳුමක් ද අවශ්‍ය වෙනවා.
සියලුම පුරවැසියන්ට ආර්ථික ක්‍රියාවලියට සහභාගී විය හැකි පරිදි අවස්ථා වැඩි දියුණු කර, එහි ප්‍රතිඵල සමාජයේ සෑම ස්ථරයකටම සාධාරණ ලෙස ලබා ගත හැකි අයුරින් ආර්ථික වර්ධනය සිදු විය යුතුයි. සමාජයේ සියලුම සාමාජිකයන්ගේ ජීවිත නඟා සිටුවීමේ මාධ්‍යයක් මිස ආර්ථික වර්ධනය හුදෙක් ආර්ථික ක්‍රියාවලියේ ප්‍රසාරණයකට පමණක් සීමා වේ නම් සමාජයට ඉන් ඇත්තේ කුඩා ප්‍රයෝජනයක් පමණයි.
දශක කිහිපයක් තිස්සේ, ආර්ථික ක්‍රියාකාරකම් සහ ආර්ථික ප්‍රතිලාභ සංකේන්ද්‍රණය වී තිබෙන්නේ සුළු පිරිසක් අතරයි. මෑතකාලීන එනම් 2019 කුටුම්භ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව, ඉහලම ආදායම්ලාභී කුටුම්භ සියයට 20 ක් සමස්ත ගෘහස්ථ වියදම්වලින් සියයට 47 ක් සිදු කරනු ලබයි.
එමෙන්ම, 2023 වසරට අදාළව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 44 ක් සඳහා දායක වී තිබෙන්නේ බස්නාහිර පළාතයි. ඒ අනුව අපට ඉදිරියට යාමට ආර්ථික අවස්ථා වඩාත් සාධාරණව බෙදී යන ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයක් අවශ්‍ය වෙනවා. පොදුජන අරගල සහ පසුගිය වසරේ පැවැති මැතිවරණවලදී ජනතාව තම දේශපාලන අයිතීන් තහවුරු කර ගත්තා. දැන් අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් ද තහවුරු කිරීමයි. මෙම අයවැයේ දර්ශනය වන්නේ එයයි.
මෙවර අයවැය සකස් කොට තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්ව. 2022 වසරේ සිට අප අත්විඳින ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන අප අමතක නොකළ යුතුයි. බොහෝ රටවල් ස්වෛරීත්ව ණය පැහැර හැරීමකින් අනතුරුව "අහිමි දශකයක්" ලෙස හඳුන්වනු ලබන කාලයක් ඔස්සේ ගමන් කොට තිබෙනවා. කෙසේ වුවත්, මේ වනවිට අප යම් ස්ථාවරත්වයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා. මෙය ශක්තිමත්ව ස්ථාවර කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය විනය, ආර්ථික දැක්ම සහ මග පෙන්වීම සහිතව මෙම අයවැය සකස් කොට තිබෙනවා. එහි අරමුණු ලඟාකරගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන දේශපාලන නායකත්වය සැපයීමට අප සූදානම්.
මූල්‍ය කළමනාකරණ පනතේ රාජ්‍ය මූල්‍ය නීතියක් ලෙස, ප්‍රාථමික වියදම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක සීමාවක් දක්වා තිබෙනවා. ඒවගේම මෙවර අයවැය මෙම අවශ්‍යතාවයට අනුකූලව සකස් කොට තිබෙනවා. එබැවින් වියදම්වලින් හොඳම සමාජ ප්‍රතිලාභය ලබා ගැනීම සහතික වන ලෙස සීමිත බදු අරමුදල් ප්‍රවේශම්සහගත ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අප අවධානය යොමු කොට තිබෙනවා.
මෙවර අයවැයෙන් අපට රිසි උපරිම අයුරින් මුදල් වෙන් කිරීමට නොහැකි වුනත් අපේ ප්‍රධාන ප්‍රමුඛතා රැසකට මුදල් වෙන් කිරීමට අපට හැකි වුණා. මෙම අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර සාම්ප්‍රදායික අයවැයවලට වඩා වෙනස් වන අතර, අපගේ ජනවරම සමඟ ගැලපීම් සිදු කරන අතරම, දැනට සිදුකෙරෙමින් පවතින කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට ද අප අරමුදල් වෙන් කර තිබෙනවා.
අස්වැසුම වැඩසටහන සහ අනෙකුත් සමාජ සුබසාධන ප්‍රමුඛතා සඳහා අප වැඩි කළ වියදම්වලින් එය පැහැදිලි වෙනවා. දැඩි මූල්‍ය සීමාවන් අනුව, කළ හැකි උපරිම ප්‍රමාණයට යටත්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාරය සඳහා අපි 2025 වසරේ ජූලි මාසයේ සිට මුදල් වෙන් කර තියනවා. මෙම යෝජනා ක්‍රමය අවභාවිතා කිරීම වැලැක්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් අප ඇති කරනවා.
අප මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් වෙන් කර තිබෙනවා. මෙය ආර්ථික වර්ධනය සඳහා රජයෙන් ලැබෙන ප්‍රධාන දායකත්වයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව අංශය ශක්තිමත් කිරීම, පොදු ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය හා සවිබල ගැන්වීම, කෘෂිකාර්මික පුනර්ජීවනය, දේශීය ව්‍යවසායකත්වය, පර්යේෂණ දිරිගැන්වීම සහ දේශීය හා අපනයන-අභිමුඛ කර්මාන්තවල වර්ධනයට හා කාර්යක්ෂමතාවයට ඇති බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරනවා.
මේ සියල්ලේ දී සහ අනෙකුත් රාජ්‍ය වියදම්වල දී, ප්‍රමුඛත්වය, ඉලක්කගත කිරීම, ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ මුදල් සඳහා වටිනාකම සහතික කිරීම සම්බන්ධයෙන් අපි වැඩි සැලකිල්ලක් දක්වනවා. එමනිසා, මහජන මුදලින් වියදම් කරන සෑම රුපියලකින්ම ආර්ථික හා සමාජීය ප්‍රතිලාභය වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
අපි මේ ආර්ථිකය නගා සිටුවීමේ මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන විට තව තවත් රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් වෙනවා. කාර්යක්‍ෂමතා වර්ධනයන්, දූෂණය හා නාස්තිය ඉවත් කිරීම, වඩා හොඳ ඉලක්කගත කිරීම් සහ වඩා හොඳ බදු පරිපාලනය තුළින් සැළකිය යුතු ඉතුරුම් ප්‍රමාණයකට අවස්ථාව සැලසෙන විට, ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා ඉටු කිරීමට අපට තව තවත් සම්පත් ලැබෙනු ඇති. ඒ නිසා රටක් විධියට අප ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වන අතර, සාමූහික විනයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමින් අප ඉදිරියට යන විට එහි ප්‍රතිලාභ අපට ලඟා කර ගත හැකි වනු ඇති."