සැප බස් 100ක් කොළඹට
February 17, 2025 02:17 pm
පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස්රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.
ඒ අනුව, කොළඹ නගර ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ මගී ප්‍රවේශය සඳහා පහත් පතුලක් සහිත (low floor buses) සැපපහසු බස් රථ 100ක් යෙදවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසා සිටියේය.
ඒ සඳහා රුපියල් මිලියන 3,000ක් වෙන්කිරීමට යෝජනා කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවේශයට පහසු, පහත් පතුලක් සහිත බස් රථ 200ක් ඔවුන්ගේ අරමුදල් යොදාගනිමින් සේවයේ යෙදවීමට ද කටයුතු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෙම බස් රථ මෙට්‍රෝ බස් සමාගම් ලෙස හඳුන්වන අලුතින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බස් සමාගම් යටතේ ක්‍රියාත්මක වන අතර යෝජිත බස් සමාගම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වනු ඇති.
මේ අතර දුර බැහැර මෙන්ම නාගරික සහ උප නාගරික ප්‍රදේශවල දී ද දුම්රිය පොදු ප්‍රවාහනය ඉතා වැදගත් වන බැවින් මෙම දුම්රියවල දුර්වල තත්ත්වය මගීන්ගේ ආරක්ෂාවට, සුවපහසුවට සහ දුම්රියේ වේගයට සෘණාත්මකව බලපා ඇති බව ජනාධිපතිවරයා පවසයි.
තවද, රට තුළ නව දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීම සහ ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම එය කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීම වැදගත් කම ද ජනාධිපතිවරයා පෙනවා දෙයි.
ඒ අනුව, එහි පළමු පියවර ලෙස දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වැඩිවන මගී ඉල්ලුමට සරිලන පරිදි සේවාවන් සැපයීමට, පැරණි මගී දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
රට තුළ ඇති නව මගී දුම්රිය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් නව දුම්රිය මැදිරි ඉදිකිරීම ආරම්භ කිරීමට 2025 වසර සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 250ක් වෙන්කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.
කාර්යක්ෂම දුම්රිය සේවාවක් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට යෝජනා කැ ඇති අතර ඊට අදාළ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 250ක් වෙන් කර ඇත.
ලංගම බස්රථ සහ පෞද්ගලික බස් ක්‍රියාකරුවන් අතර සෑම බස් මාර්ගයකම ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව රජය විසින් පාර්ශවකරුවන් සමඟ මනාව සාකච්ඡා කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන බව ජනාධිපත්වරයා පවසා සිටියේය.
ප්‍රාදේශීය සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් බලපෑම් ඇති කරන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.