රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු 15,750කින් ඉහළට

රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු 15,750කින් ඉහළට

February 17, 2025   12:52 pm

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.

මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත් වේ.

රු 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව රු 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු 500ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරන බවටත් යෝජනා විය. 

මෙම වැටුප් වැඩිකිරීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රු බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000ක් සහ ඉතිරි  මුදල 30%ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය. 

එබැවින් 2025 වසරේ යෝජිත වැටුප් වැඩිකිරීමට රු බිලියන 110ක් වෙන්කිරීමට නියමිතය.

මේ අතර, රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2025 වසරේ දී රු මිලියන 10,000ක් වෙන් කිරීමට නියමිත බව ද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.