සහල් තොග සැඟවූ තවත් වෙළෙන්දෙක් කොටුවෙයි

සහල් තොග සැඟවූ තවත් වෙළෙන්දෙක් කොටුවෙයි

February 16, 2025   05:28 pm

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් කොළඹ පරණ යොන් වීදියේ අද (16) සිදුකළ වැටලීමකදී සඟවාගෙන තිබූ කිලෝ 5 කීරි සම්බා අසුරන 550ක් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ලබාදෙනු ලැබූ තොරතුරු අනුව උපායදුතයෙකු යොදවා ඉල්ලුම් කර ඇති අවස්ථාවක සහල් නොමැති බව අදාළ ව්‍යාපාරිකයා පවසා තිබේ.

පසුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරීන්, බුද්ධි නිලධාරින් සමග සිදුකරන ලද පරික්ෂාවේදී මෙම කීරි සම්බා අසුරන තොගය සොයාගැනීමට හැකිව ඇත.

කිලෝ 2,750ක් පමණ මෙම කීරි සම්බා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් හත්ලක්ෂ 15,000ක් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මෙම කීරි සම්බා සහල් ඉතා සූක්ෂමව සීනි උරවල සහ ලුණු උරවල සඟවා තිබී ඇත.

සහල් වැඩි මිලට අලෙවිකරණ සහ සහල් සඟවා සිටින වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දෛනිකව සිදුකරන වැටලීම්වලදී මෙම වෙළඳසැලට මීට දින කිහිපයකට පෙරද නඩු පවරා තිබූ වෙළඳසැලැක් වීම විශේෂත්වයක්ය.

මේ අතර ඊයේ (15 ) දිනයේදීද සිදුකරන ලද වැටලීමකදී කොළඹ 12 ප්‍රදේශයේ ද වැඩිමිලට අලෙවිකිරීම සඳහා ගබඩාවක සඟවාගන තිබූ රුපියල් දොළොස් ලක්ෂ 35,000ක පමණ වෙළෙඳපොළ වටිනාකමක් සහිත කිලෝ 5 කීරි සම්බා සහල් අසුරන 950ක් පමණ සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය 10වනදාද අද වැටලීම සිදුකළ කොළඹ පරණ යොන් වීදියෙන් රුපියල් මිලියන 4කට වැඩි වෙළදපොල වටිනාකමක් සහිත සහල් අසුරන 3000කට වැඩි ප්‍රමාණයක් සොයාගන්නා ලදී.

මේ වනවිට ඒ සම්බන්ධවද නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.