ජීවිත බිලිගත් මාරක අනතුරු
February 16, 2025 07:23 am
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (15) එම අනතුර සිදුව තිබුණේ දික්වැල්ල, ඉපලෝගම, වෙන්නප්පුව සහ මීගොඩ යන පොලිස් වසම්වලින්ය.
දික්වැල්ල, හුන්නදෙණිය - රත්මලේ මාර්ගයේ තලහිටියාගොඩ හන්දියේදී බවුසර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එම යතුරු පැදියේ ගමන් කළ වයස අවුරුදු 03ක දැරියක් බතිගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, තලහිටියගොඩ, රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.
මේ අතර ඉපලෝගම පොලිස් වසමේ හිරිපිටියාගම - කාගම මාර්ගයේ පහලවෙම්බුව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.
මේ අතර කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව ශාන්ත ජොශප් පල්ලිය ඉදිරිපිටදී බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, දකුණු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවකි.
මේ අතර ගොඩගම - පාදුක්ක මාර්ගයේ කොහේන හන්දිය අසලදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, ලුනේතොට, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.