එක මිටට, ගොවි බිමට ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි
February 15, 2025 08:02 pm
මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ''එක මිටට, ගොවි බිමට'' වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අද (15) ආරම්භ විය.
දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මකයි.
එක මිටට ගොවි බිමට ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහන අද පොල්ගහවෙලදී ආරම්භ වූයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙනි.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වාගෙන යාම, කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලු කඹුරු සහ ගොඩඉඩම් වගාකරවීමට ගොවි ජනතාව දැනුවත් කිරීම ''එක මිටට, ගොවි බිමට'' වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බලප්‍රදේශ 566ක මෙය පැවැත්වෙන බවය.
''එක මිටට, ගොවි බිමට'' වැඩසටහන තවත් අදියරක් කළුතර, නාගොඩදී පැවැත්වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මීට අමතරව තවත් ප්‍රදේශ රැසකදී ''එක මිටට, ගොවි බිමට'' වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙන්ම, පුරන් වූ ඉඩම් අස්වැද්දීමද සිදුකෙරුණි.
මේ අතර, වී අලෙවි මණ්ඩලය පවසන්නේ, ගොවීන් රජයට වී අලෙවි කිරීම මේ වනවිට අරඹා ඇති බවය.
ගොවීන් සහ ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ, රජයේ වී මිලදී ගැනීමේ ක්‍රමවේදයේ පවතින විවිධ අඩුලුහුඬුකම් හේතුවෙන් ගොවීන් රජයට වී අලෙවි කිරීමට මැලිකමක් දක්වන බවය.