මිනුවන්ගොඩ ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

February 15, 2025   07:53 am

මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 07 වනදා මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් වෙඩිතබා වයස අවුරුදු 35ක් වන ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර තිබුණි.

එම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරයි.

ඒ අනුව ඊයේ දින අත්තනගල්ල පොලිස් වසමේ ඌරපොල ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු තවත් සැකකරුවෙකු මෙම අපරාධයට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 හා 33 වයස්වල පසුවන යාගොඩමුල්ල හා ගලපිටමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මෙම සැකකරුවන් දෙදෙනා වෙඩිතැබීමට පැමිණි සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම හා කුමන්ත්‍රණය කිරීම, අපරාධයට යොදා ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකා දමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබලදීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පෙරේදා (13) දිනයේදී ද මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකථන 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 33 යන වයස්වල පසුවන යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මෙම සැකකරුවන් තිදෙනා වෙඩිතැබීමට පැමිණි සැකකරුවන්ට ඝාතනය සිදු කිරීමෙන් පසු පලා යෑමට ආධාර අනුබල දීම, නවාතැන් පහසුකම් ලබාදීම හා කුමන්ත්‍රණය කිරීම, අපරාධයට යොදා ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකාදමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.