පැනගිය කොස්තාපල් ගැන තවත් තොරතුරු රැසක්

පැනගිය කොස්තාපල් ගැන තවත් තොරතුරු රැසක්

February 9, 2025   10:21 pm

පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරියේ නිරතව සිටින අතරතුර ඩුබායි රාජ්‍යය වෙත පලායෑමේ සිදුවීමක් ගල්කිස්ස පොලීසියෙන් වාර්තා විය.

ඔහු විසින් රැගෙන ගිය T 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ තොගය සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ජේ.ඒ.කේ.ඒ.ජයකොඩි නැමැත්තා ඊයේ (08) රාත්‍රී සේවය සඳහා යොදවා තිබී ඇත්තේ කහවිට මාවත අසළ මාර්ග බාධකයටය.

ඊයේ පස්වරු 6 සිට අද උදෑසන 06 දක්වා මාර්ග බාධකයේ රාජකාරියෙහි නිරතවීම සඳහා කොස්තාපල්වරයා පස්වරු 5.30ට  පමණ පොලිස් ස්ථානයෙන් පිටවගොස් ඇත්තේ අවි ගබඩාවෙන් අංක 28045840 දරණ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 30ක්ද රැගෙනය.

කෙසේවෙතත් කොස්තාපල්වරයා මාර්ග බාධකයේ රාජකාරි සඳහා වාර්තාකර නොතිබීම හේතුවෙන් පොලීසිය ඔහුගේ ඡංගම දුරකථනය ඇමතුවද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැත. 

පසුව අනාවරණ වී ඇත්තේ ඔහු පොලිස් ස්ථානයෙන් පිටව යෑමේදී සටහන් යෙදීම හෝ කාර්යභාර නිලධාරියෙකු දැනුම්වත් කිරීම හෝ සිදුකර නොමැති බවය.

මේ අතර, කොස්තාපල්වරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රී 10.15ට පමණ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී අනාවරණ විය.

සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට අත්තිඩියේ පිහිටි තනිකඩ බට නිවාසයට පැමිණ ඇඳුම් මාරුකර බෙල්ලන්තොට හංදියට ගොස් 
එතැන් සිට කුලී සේවා සමාගමකට අයත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගමන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයා රැගෙනගිය රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ 30 ද මෙතෙක් සොයාගැනීමට නොහැකිවී ඇති අතර එය මුදලට අලෙවිකර ඇති බව සැකපළ කරයි.

විදෙස්ගතව සිටින පාතාල කල්ලි සාමාජික බඩෝවිට අසංක නැමැත්තා ඇතුළු පාතාල කණ්ඩායම් කිහිපයක් සමඟ සැකකාර කොස්තාපල්වරයාට සබඳතා පැවති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

අනුරාධපුර,පේමඩුව, කහැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි සැකකරු මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට අනාවරණ වී තිබේ.