නායයෑම් නිසා වසර ගණනක් අනාථ කඳවුරුවල සිටින ජනතාවට අලුතින් නිවාස

නායයෑම් නිසා වසර ගණනක් අනාථ කඳවුරුවල සිටින ජනතාවට අලුතින් නිවාස

February 10, 2025   01:51 pm

පසුගිය කාලය තුළ සිදුවු ආපදා හේතුවෙන් නාය යෑම්වලට ලක්ව තවදුරටත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්තු මුල් සතියේ ආරම්භ කරන බවය.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී අද (10) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව නායාම් නිසා කෑගෑල්ල දිස්ත්‍රික්කයේ පවුල් විසි දෙකක් අනාථ කඳවුරුවල සිටින බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්ලුල්ල ප්‍රදේශයේ නායාම් නිසා වසර පහක් පුරා පවුල් පනස් එකක් සිය දරු පවුල්ද සමග කබරගල වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම ජනතාව සඳහා ස්ථිර නිවාස ඉදිකිරිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වියදමින් සිදුකෙරෙන බවද මෙහිදී සඳහන් කළේය.

මෙම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් භාරගත් බවත් ඒ අනුව හල්දුම්මුල්ල කබරගල නිවාස ඉදිකිරිම යුද හමුදාව විසිනුත් කෑගල්ල නිවාස ඉදිකිරිම නාවික හමුදාව විසිනුත් බාර ගත් බවත් පැවසූ අමාත්‍යවරයා එම නිවාස ඉදිකිරීම කඩිනම් කිරීම වෙනුවෙන් එළැඹෙන 15 වන සෙනසුරාදා දින කබරගල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බවත්, 17 වන සඳුදා දින කෑගල්ල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බවත් සඳහන් කළේය.