මාස 15ක් සහල් කල් තබා ගත හැකි ව්‍යාපෘතියක්

මාස 15ක් සහල් කල් තබා ගත හැකි ව්‍යාපෘතියක්

February 7, 2025   04:04 pm

වී තොග සහ සහල් මිල සම්බන්ධව පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා මෙරටුව විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා විසින් ගෙන ආ ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙස  සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (07) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සහල් තොග රැස් කර තබා ගැනීමේදී රසායනික ද්‍රව්‍ය යොදා වුවද තබා ගත හැක්කේ උපරිම කාලය මාස 03ක් වුවද අදාළ පීඨාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය මගින් සහල් මාස 15ක් දක්වා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිත නොකර ගබඩා කර ගත හැකි වූ බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කළ හොත් සහල් සුරක්ෂිතභාවය මෙන්ම මිල ස්ථාවරත්වයද පවත්වාගත හැකි බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අදාළ ව්‍යාපෘතිය මගින් සහල් කිලෝග්‍රෑමයක් අවුරුද්දක කාලයක් සඳහා ගබඩා කර ගැනීමට වැය වී ඇත්තේ ශත 90ක් වැනි මුදලක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, 

"විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය කරලා තියෙන්නේ යාන්ත්‍රික වායු සංසරණ ක්‍රමවේදයෙන් තමයි ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම කරලා තියෙන්නේ. එතනදි ජාතික ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ආහාර දෙපාර්තමේන්තුව විසින් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවල පර්යේෂණ කරලා ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ මහත්මයා විසින් මේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. 

මේ ව්‍යාපෘතිය අනුව පැහැදිලිව සහල් මාස 15කට වැඩි කාලයක් තියාගන්න පුළුවන් කියලා තහවුරු වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය ගෙන ඒමට ප්‍රධාන කරුණු කීපයක් බලපාලා තියෙනවා. එකක් තමයි සහල් සුරක්ෂිතභාවය ඇති කරගැනීම. අනිත් කාරණය තමයි හදිසි ආපදා තත්ත්වයකදී වී තොග තියන් ඉඳලා වැඩක් නෑ අපිට සහල් අවශ්‍යයි. ඒ වගේම මිල ස්ථාවරව පවත්වාගෙන යන්න අපිට වී තොගත් නෙමෙයි සහල් තොග තියාගන්න ඕනේ. මේකෙන් ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. එකක් මාස 15ක් කල් තියාගන්න පුළුවන් අනිත් කාරණය තමයි සහල් කිලෝ එකක් අවුරුද්දක් වගේ කාලයක් ගබඩා කරලා තියාගන්න කොස්ට් එක ගිහින් තියෙන්නේ ශත 90ක් වගේ බොහොම පොඩි මුදලක් ඒ නිසා මේ ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා."