නල ජලයේ රසායන ද්‍රව්‍ය ගැන ජල සම්පාදනයෙන් කරුණු පැහැදිලි කිරීමක්
February 7, 2025 05:52 pm
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවට සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් දක්වා ඇත්තේ ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන පිළිස්සු හුණු ටොන් 1500ක් මිලදී ගැනීම සඳහා ජාතික පුවත්පත් හරහා විවෘත ලංසු කැඳවූ බවත් ටෙන්ඩර් පත් සමග ලබාදුන් සාම්පල පරීක්ෂාවට ලක් කර ඉන් සමත්වූ සම්පූර්ණ සුදුසුකම් ලත් හා අවම ලංසුව ලබා දුන් ලංසුකරුවෙකු වෙත අදාල ටෙන්ඩරය ප්‍රධානය කළ බවය.
ඉන් අනතුරුව නැව්ගත කිරීමට පෙර තත්ත්ව පරීක්ෂාව සාක්ෂි සහිතව සිදු කිරීම පිණින මණ්ඩලයේ නිලධාරී කණ්ඩායමක් සහභාගී වූ අතර එම අවස්ථාවේදී ලබාගත් සාම්පල පිරිවිතර හා අනුකූල වූ බැවින් නැව්ගත කිරීමට අවසර ලබා දුන් බවත් එහි සඳහන් ව තිබේ.
ඒ අනුව පළමුව හුනු ටොන් 380ක් කොන්ත්‍රාත්කරු විසින් මෙරටට ගෙන්වා මණ්ඩලයේ ගබඩා වෙත භාරදුන් අරත පළිපදින ක්‍රමවේදයන් පරිදි එම තොගයෙන් නැවත අහඹු සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේදි එම හුණුවල ඇති ක්‍රෝමියම් ප්‍රමාණය පිරිවිතරයේ සඳහන් 10mg/kh ප්‍රමාණය ඉක්මවා ඇති බව සොයා ගත් බවත් එහි සඳහන් කර තිබේ.
ඒ අනුව මණ්ඩලයේ සහ බාහිර රසායනාගාරවලින් ලද ප්‍රතිඵල අනුව ක්‍රෝමියම් ප්‍රමාණය 11-14 mg/kg අතර අගයන් වූ බවත් සැපයුම්කරු හා එක්ව සාමුහිකව ලබාගත් සාම්පලයද 11.3 mg/kg ප්‍රමාණයක් ක්‍රෝමියන් අන්තර්ගතව ඇති බවය සොයාගත් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.
එම නිවේදනය මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙනුයේ ඒ අනුව මෙම තොගය පිරිවිතරයන්ට අනුකූල නොව බැවින් මණ්ඩලයේ තොගවලට නොගෙන වෙනම ගබඩා කළ බවත් මෙම තොගය කිසිදු පවිත්‍රීකරණ ක්‍රියාවලියක් සඳහා යොදානොගත් බවය.
මෙම පරීක්ෂණ අතුරතුර දෙවන නැව්ගත කිරීම ලෙස තවත් ටොන් 209ක් එම කොන්ත්‍රාත්තුව යටතේම ලැබුණු බවත් ඉන් අහඹු ලෙස සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බවත් සභාපතිවරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ව තිබේ.
සභාපතිවරයා එහි සඳහන් කර ඇත්තේ ඒ අනුව අදාළ තොගය නිසි පිරිවිතරයන්ට අනුකූල වේ නම් ඒවා ගබඩා තොග වෙත එකතු කර භාවිතයට ගන්නා බවය.
කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවේ නම් එම තොග දෙකම සැපයුම්කරු විසින් ප්‍රතිස්ථාපනය කළ යුතු අතර එතෙක් ඔහුට හිමි ගෙවීම් සිදු නොකරන බවත් එහි සඳහන්ව ඇත.
එමෙන්ම එය කිසිදු පවිත්‍රීකරණ ක්‍රියාවලියක් සඳහා මෙතෙක් යොදාගෙන නොමැති බවත් ඔහු එමගින් සඳහන් කර තිබේ.
ජල පවිත්‍රීකරණය සඳහා මණ්ඩලය භාවිතා කරනු ලබන්නේ SLS ප්‍රමිතීන් බවත් දින කිහිපයකට පෙර SLS ප්‍රමිතියේ සඳහන් 10mg/kg ක් වූ උපරිම ක්‍රෝමියන් සාන්ද්‍රණය 12mg/kgක් ලෙස ඉහළ දැමූ බවත් මෙම වෙන සිදුකරනු ලැබුවේ SLS ආයතනය විසින් වන අතර ඒ සඳහා මණ්ඩලය විසින් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් සභාපතිවරයා අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම හුණු තොගය තවම මණ්ඩලයේ තොග වෙත භාරගෙන නොමැති බැවින් පවිත්‍රීකරණ ක්‍රියාවලියට මෙම තොග මෙතෙක් යොදා නොගත් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.
මේ හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරා සපයන ජලය භාවිතයට ගැනීම සම්බන්ධව කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවද එම මණ්ඩලය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.