කලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්

කලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්

February 2, 2025   10:12 am

මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර ජීවය හැරයන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ගර්භණී භාවයට පත්වන කාන්තාවන් අතුරින් 26,000කට ආසන්න ප්‍රමාණයකගේ මුල් මාස කිහිපය තුළ කළලය ඉවත් වන බවත්ය.

කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති අනාගත ප්‍රජා වෛද්‍ය අභියෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා,

වසරකට 313,000ක් විතර ගර්භණීභාවයට පත්වෙනවා. එතකොට මේ ගර්භණීභාවට පත්වීම, නැත්නම් පිළිසිඳ ගැනීම තමයි මෙහි මූලාරම්භය. ඒ පිළිසිඳ ගන්න දරුවා නැත්නම් ඒ කලලය කොහොමද වැඩි දියුණු වෙන්නේ ? කොහොමද ඉදිරියට ගමන් කරන්නේ ? ඒ සඳහා විවිධ කාරණා බලපානවා. අධ්‍යාපනය, ඒකට තියෙන ගුණාත්මකභාවය, සෞඛ්‍ය සේවය, සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය, අපේ වටපිටාව, පරිසරය, සමාජ සම්බන්ධතා, සමාජ බලපෑම සහ ආර්ථික තත්ත්වය කියන මේ සන්දර්භය ඉතාම වැදගත්. 

පිළිසිඳ ගත්තාට වැඩක් නැහැ ගර්භණී භාවයට පත්වුණ අයගෙන් 26,000කගේ විතර ඒ කලලයට වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. වසරකට 26‍,000ක් විතර මුල් මාස කිහිපය තුළ කලලය ගර්භය තුළින් ඉවත් වෙනවා.

සති 28කින් පස්සේ දරුවන් 1,700කට ආසන්න ප්‍රමාණයක් කුස තුළ මිය යනවා. අන්තිමට දළ වශයෙන් 280,000ක් වූ සජීවි දරුවන් ප්‍රමාණයක් ඉපදෙනවා.

දරුවන් ඉපදීම හැමෝටම සුන්දර නෑ

අපිට හිතෙනවා දරුවෙක් ඉපදුනාම හරි සුන්දර අවස්ථාවක්, හැමෝටම මේක සුන්දර අවස්ථාවක් කියලා. හැබැයි හැමෝටම එහෙම නෑ‍, හැම දෙමව්පියෙක්ටම එහෙම නෑ. මේ ඉපදෙන දරුවන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු බර සහිතව ඉපදෙන්නේ. ප්‍රමාණයක් විදිහට ගත්තොත් 20,000ක් විතර. ඒ ඔක්කොම සෞඛ්‍යමත් නෑ. ඒ අයගෙන් පළවෙනි සතිය වෙනකොටම ලෙඩ වෙනවා. සමහරවිට නව ජන්ම අධි සත්කාරක සේවාවන්වලට මේ දරුවන් දාන්න වෙනවා, සමහරුන්ට පොඩි පොඩි අසනීප එනවා. අපි හිතුවාට දරුවෙක් ඉපදුනා කියලා මුල් අවස්ථාවේදිම ජීවිතය ඉදිරියට ගෙනියන්න ප්‍රශ්න එනවා. 

අවසානයේදී පළවෙනි උපන්දිනය සමරන්න පෙර මේ දරුවන්ගෙන් 2,500ක් විතර මිය යනවා විවිද හේතුවලට. ඒ හේතු බලපුවාම මේකෙන් 46%ක් විතර උපත් ආබාධ, ඊළඟට නොමේරු දරුවන් 26%ක් විතර, 12%ක් විතර හුස්ම හිරවෙලා මිය යනවා‍, නව ජන්ම අවස්ථාවේදිම ආසාධිත තත්ත්වයට පත්වෙලා 6%ක් විතර මිය යනවා.

බාහිර රෝගී අංශයට ප්‍රථිකාර සඳහා වසරකට රෝගීන් මිලියන 28ක්

දරුවන් වැඩිහිටියා දක්වා වෙන කාල පරාසය තුළ විවිධ ලෙඩ රෝගවලට ලක්වෙනවා.  ඒ ලෙඩ රෝග ගත්තාම රෝහල්වල බාහිර රෝගී අංශයට විතරක් වසරකට මිලියන 58ක් එනවා බෙහෙත් ගන්න. සායනවලට එනවා මිලියන 03ක් ඒ වගේම රෝහල් තුළ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වෙනවා වසරකට මිලියන 7ක් විතර. පසුගිය 2023 වසරේ 181,000ක් මියගියා. 

උපත් අඩු වී මරණ වැඩි වෙයි

පසුගිය 2019 සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ බැලුවොත් උපත් සංඛ්‍යාව 247,000 දක්වා අඩු වෙලා තියෙනවා. පසුගිය 2019 වසරේදී උපත් සංඛ්‍යාව තිබුණා 319‍,000ක්. 2019 වසරට සාපේක්ෂව බැලුවාම උපත් සංඛ්‍යාව 22%-23%ක විතර අඩු වීමක්. 

මරණ ගත්තාම සෑම වයස් කාණ්ඩයකම මරණ 2020 වසරේ තිබුණේ 132,00ක්. ගිය 2023 වසර වන විට 181,000ක් දක්වා වැඩිවෙලා තියෙනවා. හැබැයි විවාහ ගත්තොත් එකම මට්ටමක පොඩි විචලනයන් තමයි දක්නට ලැබෙන්නේ.

අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව අපි 1948 - 1950 වසරේදි අපේ ඉපදුණු දරුවෙකුගේ ජීවිත අපේක්ෂාව තිබුණේ අවුරුදු 53ක් 56ක් වගේ. පිරිමි ළමයෙක් නම් අවුරුදු 53ක් ජීවත් වෙනවා ගැහැණු දරුවෙක් නම් අවුරුදු 56ක් ජීවත් වෙනවා. 

නමුත් මේ අපි සමාජ ආර්ථික දියුණුවත්, ඒ එක්කම සෞඛ්‍ය අංශයේ දායකත්වයත් හේතුවෙන් මේ වන විට අපේ ජීවිත අපේක්ෂාව ස්ත්‍රී කාණ්ඩයේ අවුරුදු 80ක් දක්වාත් පිරිමි කාණ්ඩය අවුරුදු 73ක් දක්වාත් වර්ධනය වෙලා තියෙනවා.

මේ ඔක්කොම වෙලා තියෙන්නේ මේ සියලුම අංශවල දායකත්වය අපේ ජීවිත සුරකින්නට, ගුණාත්මක අගයක් ලබා දෙන්න කරපු දේවල්වලින්.

ප්‍රජා වෛද්‍යවරුන්ගේ කාර්ය භාරය 

වෛද්‍යවරු වශයෙන් අපිට විදි දෙකක් තියෙනවා. එකක් ජනතාව ලෙඩ වුණාට පස්සේ ප්‍රතිකාර කරනවා දෙවැනි කරුණ ලෙඩ වෙන්න පෙර එය වළක්වා ගන්නවා. මේකෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු වශයෙන් අපේ කාර්ය භාරය ලෙඩ වීම වළක්වා ගන්න. 

ලෙඩ වුණාට පස්සේ කරන්න විශේෂඥ පථ ගොඩක් තියෙනවා. හැබයි අපි රටක් වශයෙන් අපි කළ යුතු දේ මොකක්ද මේ ජනතාව රෝගී තත්ත්වයට පත්වීම වැළැක්වීම. එතකොට අපි මේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෙඩක් හැදෙන්න පෙර එය වැළැක්වීම. අපි ඒ සඳහා සංවිධානාමත්ක ක්‍රමවේදයක් තියෙනවා.

මේ සඳහා මුළු සමාජයක්ම පවුල් වශයෙන්, පුද්ගල මට්ටමින්, සමාජ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්න ඕනේ මේ සඳහා දායකත්වයක් සපයන්න ඕනේ.

මෙහිදී අපේ මූලිකම සංකල්පය තමයි ප්‍රාථමික, ද්විතීක, ත්‍රිතීක කියන සංකල්පය

ප්‍රාථමික අදියරේදී අපි බලාපොරොත්තු වෙන්නේ ලෙඩ රෝගයක් හැදීමට පෙර ඒක වළක්වාගන්න. ද්විතීක කියන්නේ ලෙඩේ හැදුනාට පස්සේ රෝගියාට තවදුරටත් සංකූලතා ඇති නොවන පරිදි රෝගය කළමණාකරණය කිරීම, ත්‍රිතීක කියන්නේ ලෙඩේ හැදුණාම හානිය අවම කර ගැනීම, ආබාධ අවම කර ගැනීම.

මෙහිදී අපි ලෙඩ රෝග හැදීම වළක්වාගන්නවා පමණක් නෙමෙයි ලෙඩ රෝග හැදෙන හේතු කාරකත් වළක්වා ගන්නවා. 

ඉතිං ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සංගමය විදිහට අපිට ලොකු කාර්ය භාරයක් ඇතිවෙලා තියෙනවා මේ සඳහා අපිට දැක්මක් තියෙනවා ඉලක්කයක් තියෙනවා. අපේ තේමාව වෙලා තිබුණේ සෑම දරුවෙකුටම ජීවය ලබා දෙන්න, ඔවුන්ගේ සුරක්ෂිත කිරීම සමගම ප්‍රජාව ඔප්නංවන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට.

අවුරුදු 5ට අඩු ළමුන් 3,000කට අධික පිරිසක් වසරක් තුළ ජීවිතක්ෂයට

අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට. 

ඊළඟට මේ දරුවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම, මේ දරුවන් අනතුරුවලින් ආරක්ෂා කිරීමට

අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ පැත්තෙන් බලලා කථිකාවතක් ඇති කිරීමට ඒ තුළින් නිර්දේශ අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලබා දෙන්න.

මාරාන්තික උපත් ආබාධ

අපේ රටේ සෑහෙන්න දරුවන් පිරිසක් මාරාන්තික උපත් ආබාධවලින් පෙළෙනවා. අපිට දැනගන්න ලැබෙනවා කුස තුළදීම මේ දරුවන්ට ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ කියලා. නමුත් අද තියෙන නීති සම්පාදන තුළින් දරුවා කුස තුළ ඉඳලාම විඳවනවා ඒක. මවත් විඳවනවා, දැනටමත් ඉපදිලා ඉන්න දරුවන් විඳවනවා, අවසානයේදී මේ දරුවන් ඉපදුනාට පස්සේ සමාජය විඳවීමක් තියෙනවා, අවසානයේ සෞඛ්‍ය පද්ධතිය අපහසුතාවට පත් වෙනවා. මොකද එහෙම දරුවෙක් ආවාම අපිට දැඩිසත්කාරයට නොදා ඉන්න බෑ. 

මේක ඉතාම සෝචනීය තත්ත්වයක් ඉතිං කැමති මව්වරුන්ට මේ තත්ත්වය දැනගත් කාලය තුළ ගර්භනී භාවය නිමා කරන්න අනෙක් සියලුම රටවල් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා. නමුත් අපි මේ පිළිබඳව අවුරුදු 20ක් තුළ ඉඳන් මේ ප්‍රශ්නය මතු කරනවා නමුත් විවිධ හේතු නිසා  මෙය ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙනවා. ඉතිං ඒ පිළිබඳව හඬක් නගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. 

ළමා සියදිවි හානි කරගැනීම ඉහළට - සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක්

2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270කට ආසන්න ප්‍රමාණයක් ළමා සියදිවි නසා ගැනීම් වාර්තා වෙලා තියෙනවා. මේ සියලුම දේවල්වලට විවිධ හේතු තියෙනවා.

එක හේතුවක් තමයි සමාජ මාධ්‍ය. මේ සඳහා අපි රටක් වශයෙන් කුමක් කළ යුතුද ? මේ පිළිබඳව අපි කරුණු සොයා බැලීම අවසන් අදියරේ පවතින්නේ මේකේ හොඳ සහ නරක පැති දෙකක් තියෙනවා. ඒ නිසා මේ සඳහා සීමා පනවන්නේ කොහොමද කියලා නීති සම්පාදකයින්ට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.