ජ'පුරේ දන්ත වෛද්‍ය සිසුන්ගේ ගැටලුවට ඇමතිගෙන් විසඳුම්

ජ'පුරේ දන්ත වෛද්‍ය සිසුන්ගේ ගැටලුවට ඇමතිගෙන් විසඳුම්

January 26, 2025   05:02 pm

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය සිසුන්ගේ අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් පැවති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශ කටයුතු කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත පීඨය සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබුණි.

එහිදී තීරණය කර ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ දී එම සිසුන්ට විධිමත් අයුරින් අදාළ පුහුණුව ලබාදීමටය.

එම දන්ත වෛද්‍ය පීඨයේ මේවන විට වසර හතරකට අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල නිරතව සිටී. 

කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන් ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 

එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක්, මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් මෙහිදි තීරණය වූ අතර මේ සඳහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංගම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.