ශිෂ්‍යත්වයෙන් ලකුණු 159ක් ගත් දරුවා ප්‍රතිඵල එද්දි ජීවිතය හැර ගිහින්

ශිෂ්‍යත්වයෙන් ලකුණු 159ක් ගත් දරුවා ප්‍රතිඵල එද්දි ජීවිතය හැර ගිහින්

January 27, 2025   11:49 am

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල ලැබීමට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව තිබේ.

බලංගොඩ, වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සඳරැන් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159ක් හිමිකර ගෙන ඇති බව ඔහුගේ මව හැඬු කඳුළින් පවසන්නීය.

එපමණක් නොව බලංගොඩ, වලේබොඩ, තෝරවෙලකන්ද විදුහලේ ශිෂ්‍යත්වය සමත්ව ඇති එකම දරුවා වන්නේ ද සුපුන් වීම හද තවත් කම්පනයට පත්කිරීමට සමත් වූ පුවතක් වුණි.

ප්‍රතිඵල ලැබීමට මාස එකහමාරකට පමණ පෙර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් ජීවිතය හැරගිය පුංචි පුතු ගැන මතකය අවදි කළ සුපුන්ගේ මව අද දෙරණට මෙලෙස අදහස් දැක්වීය.

"මගේ ලොකු පුතා දැන් ඉතින් මොනවා කරන්නද? ශිෂ්‍යත්වයෙන් ලකුණු 159ක් ලබාගත්තා. ඒත් අපිට කරන්න දෙයක් නෑනේ. ඉස්කෝලෙන් වැඩිම ලකුණු ගත්තෙත් එයා."

සුපුන් ගැන මතකය අවදි කළ පාසලේ පන්තිභාර ගුරුතුමිය,

"සුපුන් කියන්නේ අපේ පාසලේ හිටිය දක්ෂම දරුවෙක්. ප්‍රතිඵල එද්දි එයා අද නෑනේ. ඒ නිසා ගුරුවරු විදියට සතුටක් නෑ අපිට. එයා කොහේහරි ඉඳලා ප්‍රතිඵලය දිහා බලාගෙන ඇති. එයා විශ්වාස කළා මේ වගේ ප්‍රතිඵලයක් එයි කියලා. එයාගේ යාළුවන්ටත් දුකයි. එයාලා වැඩියෙන්ම දුක්වෙන්නේ ප්‍රතිඵල බලන්නවත් යාළුවා නැති එක ගැන. සුපුන් හරිම උනන්දුවෙන් ඉගෙන ගත්ත දරුවෙක්. ඕනෑම භාෂාවක් ගැන එයාට පුළුල් දැනුමක් තිබුණා. ලොකු දරුවෙක් වගේ. එයා නැති වුණ එක ගැන ගොඩක් දුකයි. ඒත් එයා ඉස්කෝලෙට ලොකු ගෞවරයක් අත්කරලා දුන්නේ."