බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසාද ?

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසාද ?

January 25, 2025   07:24 am

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි. 

එහි පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසා සිටියේ, අදාළ වාර්තාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර කොළඹ මහ නගර සභාවේ යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා පැවසීය.

මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට අපට තහවුරු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් ඉජාස් මහතා,

"මියගිය සතුන් 25ක සිරුරු තිබුණා. ඒකෙනුත් අපි 7ක් විතර හෝමාගම පශු විමර්ශන ඒකකයට යොමුකළා. එහිදී තහවුරු වෙලා තියෙනවා කුරුළු උණ නැති බවට.

මේ වනවිට අපි පේරාදෙනිය පශු විමර්ශන ඒකකටත් දැනුම්දීලා තියෙන්නේ. ඒ අය සඳුදා වෙනකොට සියළුම සාම්පල් අපට යවන්න කියලා තියෙනවා.  

දැනට අපට නිෂ්චිත වශයෙන්ම තහවුරු කරන්න බෑ මොකක්ද කියලා. ඒ නිසා රසායනාගාර පරීකෂණ සියල්ල අවසන් වූ පසුව ලැබෙන තීරණ අනුව සතුන් මියයන නිෂ්චිත හේතුව හොයාගන්න පුළුවන්".