ආණ්ඩුවේ ලියාපදිංචි නොවන කිසිවෙකුට වී තොග රැස්කරන්න බෑ - ජනපති

ආණ්ඩුවේ ලියාපදිංචි නොවන කිසිවෙකුට වී තොග රැස්කරන්න බෑ - ජනපති

January 26, 2025   11:45 am

මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල බවය.

"අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා.

අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා.

මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06යි.

ඉවට කියන්න සිදුවෙලා තියෙනවා. රටක් තවදුරටත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරටත් ගමන්කරන්නේ ඉවට නෙමයි දත්තවලට හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් දෙන්න."