නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

January 19, 2025   10:03 pm

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා බුද්ධංගල ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් මේ වනවිට ස්ථානගත කර තිබෙන බව නාවික හමුදාව පවසයි.

මෙම කටයුතු ඉකුත් 15වනදා ආරම්භ කෙරුණු අතර, ඒ අනුව එම සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ දැනටමත් ආරම්භ කර තිබේ.

අධික වර්ෂාපතනයත් සමග පදවිය, මාඔය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන  ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ජිවිතාරක්‍ෂක උපකරණ ද සමග ස්ථානගත කර ඇත.

ඒ අනුව එම සහන කණ්ඩායම් අද (19) උදෑසන වනවිටද ජලයෙන් යටවී ඇති පදවිය - බුද්ධංගල මාර්ගය හරහා මහජනතාවට ආරක්‍ෂිතව ගමන් කිරීමට පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.

එමෙන්ම දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වියහැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීමේ අවශ්‍යතාව මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 50ක් සූදානමින් තබා ඇත.