සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සැකපිට අත්අඩංගුවට
January 17, 2025 07:19 am
ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැලිකන්ද පොලිස් වසමේ රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 53ක් වන රුහුණුකෙත ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් බව පොලීසිය පවසයි.
ඔහු සතුව තිබී ගිනි අවියට අමතරව පතරොම් ගැබ් 01ක් සහ ටී 56 පතොරොම් 18ක් සොයාගැනීමට ද පොලීසියට හැකිව ඇත.
මෙම සැකකරු විසින් මෙම ගිනි අවිය යොදාගෙන වෙනත් අපරාධ සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඉකුත් 11වනදා මීතොටමුල්ල ප්‍රදේශයේදී වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරගෙන යන විමර්ශනයේදී ඔහුගෙන් ලද තොරතුරක් මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
මීතොටමුල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට පත් වූ එම සැකකරු සතුවද පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 13ක් තිබී සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.