විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

November 26, 2024   12:58 pm

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2014 - 2022 කාලයේ දී ණය ගැනීමට සිදුවුයේ, ලංවිම වියදම් අනුමත කළද , ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයට නියාමක නිලධාරීන් කටයුතු නොකළ නිසා බවය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පැවති ක්‍රමවේදයට අනුකූලව, 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 - 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සළකා, 6% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින් ප්‍රතික්ෂේප කළ බවය.

2024 අවසන් කාර්තුව සඳහා නොව 2025 මුල් මාස 6 සළකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙස නියාමක විසින් ඉල්ලා සිටි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

2025 සඳහා එම නව යෝජනාව ක්‍රමවත් පරිදි ඉදිරිපත් කිරීම සඳහා ලංවිමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන අතර, එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියාමක වෙත යොමු කෙරෙනු ඇති බව ද එහි සඳහන් වේ.

2024 මුල් කාර්තු 3 දී පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට නියාමක නිලධාරින් ගත් තීරණය නිසා, 2024 අවසන් කාර්තුවේදි මිල අඩුකිරිමට ලංවිමට අවසර නොලැබුණ බව ද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලංවිම කාර්යය වන්නේ විදුලි වියදම් ඇස්තමේන්තු කිරීම හා ගාස්තු සංශෝධන ඉදිරිපත් කිරීම වන අතර, ප්‍රමාණවත් කාලයක් ලබාගැනීම සිදුකරනුයේ පාරිභෝගිකයන් වෙත වඩාත් සාධාරණ ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.