තහනම් සංවිධාන සැමරීමට කිසිදු ඉඩක් නැහැ - කැබිනට් ප්‍රකාශක
November 26, 2024 03:26 pm
තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිඳු ඉඩක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) අවධාරණය කළේය.
උතුරේ සිදුකළ බව කියන සැමරුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
"ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවලට මුදල් එකතු කිරීම, ප්‍රචාරණය කිරීම, සංවිධානය කිරීම, ඊට අදාළ ලාංඡන, කොටි, බැනර්, සංකේත ප්‍රදර්ශනය කිරීම රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ."
"ඒ නිසා කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවල සැමරුම් සිදුකරන්න අයිතියක් නැහැ."
"හැබැයි යම් තැනක තමන්ගේ මියගිය ඥාතීන් සමරනවා නම් පෞද්ගලිකව.. ඒකට බාධා කරන්න රජයට අයිතියක් නැහැ. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා... ඥාතීන් සමරන්න ඒ අයට තිබෙන අයිතියට අපි ගරු කරන අතරේ වෙනත් ආකාරයක නීතිවිරෝධී කටයුතු සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ."
"තහනම් කරන ලද සැමරුම් පැවැත්වුණා නම් පොලීසිය පියවර ගනී. එවැනි කටයුතු සඳහා කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. විටින් විට උතුරේ සමහර දේශපාලනඥයින් සහ ඇතැම් පුද්ගලයන් අනීතික ආකාරයට මැදිහත්වෙමින් තිබුණා LTTE සාමාජිකයන් සහ ඒ කිය නායකයන් සමරන්න. අපි ඒකට ඉඩක් ලබාදෙන්නේ නැහැ. පොලීසිය ඒ ගැන අනිවාර්යයෙන් කටයුතු කරයි."
මේ අතර යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (25) උත්සව පැවැත්වුණි.
ඒ, යාපනය විශ්වවිද්‍යාල භූමියේ, වවුනියාව කල්මඩු ප්‍රදේශයේ සහ මුලතිව් මුල්ලියාවේල ප්රදේශවලය.
යාපනය කෝපායි මහවිරු සොහොනේ සහ මුලතිව් වන්නිවිලාන්කුලම මහවිරු සොහොන ආශ්‍රිතව ඔවුන් පහන් දල්වා සිය ඥාතීන් සිහිපත් කර තිබුණි.
සෑම වසරකම නොවැම්බර් 21 සහ 27 අතර කාලය මහවිරු සතිය ලෙසින් හඳුන්වා එහිදී යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකරනු ලබයි.