තොරතුරු වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ සහල් තොගය
November 26, 2024 05:20 pm
අසුරනයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට දැමූ සහල් කිලෝග්‍රෑම් 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබේ.
නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික එම සහල් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බව සඳහන් ය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (25) එම වැටලීම සිදුකරන ලදි.
එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත 25kg ඇසුරුම් වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා විසින් සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිත කිරීම කළයුතු බව ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබිණ.
එමෙන්ම එම සහල් අසුරනවල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුළ රහසිගතව තබා ගනිමින් මෙම සහල් ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.
මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.
භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇත් දැයි විමසිලිමත් වන ලෙසත් එවැනි භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.