නාඳුනන මළ සිරුරු දෙකක්
October 31, 2024 10:42 am
නාඳුනන මෘත ශරීර දෙකක් බගවන්තලාව සහ පෑලියගොඩ පොලිස් වසම්වලින් හමුවූ බව පොලීසිය පවසයි.
එක් මෘත ශරීරයක් බගවන්තලාව බොගවානවත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔයේ තිබීය දී ඊයේ (30) උදෑසන හමුව තිබේ.
පොලීසිය පැවසුවේ එය වයස අවුරුදු 35ත් 40ත් පමණ වන උස අඩි 05 අඟල් 02 ක් පමණ උසැති පිරිමි පුද්ගලයෙකුගේ බවය.
ඔහු අවසන් වරට කළු පැහැති දිග කලිසමක් සහ සුදු පැහැති අත් කොට කමීසයක් හැඳ සිටි බවත් වම් කනේ ඊ තලයක හැඩැති කරාබුවක් පැළඳ සිටීන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර එය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර පෑලියගොඩ, මහනුවර මාර්ගයේ පදික වේදිකාවක තිබී හමු වූ මෘත ශරීරය ද පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය පවසයි.
ඊයේ සවස පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර ඇති අතර මෙතෙක් මරණකරුගේ අනන්‍යතාව තහවුරු වී නොමැති බව සඳහන් වේ.
හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත ශරීරය තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙම මරණකරුගේ වයස අවුරුදු 55ත් 60ත් පමණ වන අතර, උස අඩි 05 අඟල් 05 ක් බව සඳහන් වේ.
පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.