
update:08.14
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.
ඒ අනුව ඥානසාර හිමියන් බන්ධනාගාරය භාරයට පත්කෙරුණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ සිරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරුවන් සඳහා නියම කරන ලද ඇඳුම වන 'ජම්පරය' බන්ධනාගාරයේදී උන්වහන්සේට ලබාදුන් බවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී අධිකරණයේ අවසරයකින් තොරව විවෘත අධිකරණයේ අදහස් ප්‍රකාශ කිරීම තුළ අධිකරණ කටයුතුවලට බාධාවක් වූ බවට දක්වමින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර එය විභාග කළ අභියාචනාධිකරණය 2018 වසරේ මැයි 24 වැනිදා ඥානසාර හිමියන්ට වසර 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
අනතුරුව 2019 වසරේ මැයි 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ප්‍රදානය කිරීමට කටයුතු කළේය.
ඊට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ අතර එහි තීන්දුව ඉකුත් සැප්තැම්බර් 10 වනදා ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමියන්ට ලබාදී තිබූ පොදු සමාව නීත්‍යානුකූල නොවන බව දක්වමින් එය බලරහිත කිරීමට කටයුතු කෙරුණි.
කෙසේ වෙතත් පොදු සමාව බල රහිත කිරීමෙන් පසුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකළ මෝසමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් 29 වනදා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
එමෙන්ම කොළඹ මහාධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු 02කට අදාළවද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේට වරෙන්තු නිකුත් වුණි.
ඒ අනුව, අදාළ වරෙන්තු ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් පසුගිය 03 වනදා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියදී යි.
අත්අඩංගුවටගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව වරෙන්තු නිකුත් වී ඇති අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.
ඒ අනුව අභියාචනාධිකරණයෙන් වරෙන්තු නිකුත් වී ඇති නඩුකරයට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අද පෙරවරුවේ අභියාචනාධිකරණයට රැගෙන ආවේය.
එහිදී මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා සමඟ පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
" ස්වාමීනී... වගඋත්තරකාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා.මානසික වශයෙන් විවේකයක් ලබා ගැනීම සඳහායි උන්වහන්සේ එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මඟහැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ."
එහිදී අභියාචනාධිකරණ විනිසුරු ලක්මාලී කරුණානායක මහත්මිය විමසා සිටියේ "එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ මන්ද? "යන්නයි.
ඊට පිළිතුරු දුන් නීතිඥවරයා " ස්වාමීනි...වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන Signal දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබා දෙන්න බැරි වුණේ" යැයි සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ සුදත් ජයසුන්දර මහතා
" ස්වාමීනී...වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපයාදිය යුතු බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙත් සඳහන් කර තිබෙනවා. එම නිසා උන්වහන්සේට බන්ධනාගාරය තුළදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඥානසාර හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සම්බන්ධයෙන් ද සුදුසු නියෝග නිකුත් කරන්න" යැයි ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
" ස්වාමීනී... වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද ජනාධිපති පොදු සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් 10 වනදා ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමේ ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්න කියලා. " යැයි ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව නැගී සිටි ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර මහතා සිය සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙන බැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකි බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට නියම කරන ලද වසර 06ක සිරදඬුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.
ඊට අමතරව ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණි.
ඒ අනුව යළිත් සිරදඬුවම ක්‍රියාත්මක වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේය.
-බන්ධනාගාර ගතකරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරුවන් සඳහා නියම කරන ලද ජම්පරය අද (05) පස්වරුවේ ලබාදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත්කර අදාළ ඇඳුමින් සිටින බව ඒ මහතා පැවසුවේය.
එමෙන්ම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
ඒ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබීමෙන් අනතුරුවය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේය.

















































