මොනරෙකු මරා ආහාරයට ගත් වීඩියෝව සම්බන්ධව පරීක්ෂණයක්
October 24, 2024 09:25 pm
විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගියදා 'Go With Ali,' නැමැති යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යනු විදේශිකයෙකු, මෙරට ආදිවාසීන් සිව්දෙනෙකු සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මොනරෙකු දඩයම් කර පුළුස්සා අහාරයට ගන්නා ආකාරය සිය යු ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කර තිබුණි.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ අදාළ සිද්ධියට සම්බන්ධ වූ ආදිවාසීන් සිව්දෙනා සහ එය සිදුකළ ස්ථානය සොයා විමර්ශන ආරම්භකර ඇති බවය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, ගිනිදැල්වීම, දුනු ඊතලවලින් විද ආරක්ෂිත පක්ෂියෙකු ඝාතනය කිරීම මෙන්ම එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම යන චෝදනා අදාළ විදේශිකයා ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබේ.
මීට ඉහතදීත් මෙලෙසම මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ විදේශීකයෙක් සහ දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පිරිසක් මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් තිබේ.