අතරමැදියන්ට ගසාකන්න ඉඩතියන්නේ නෑ -ලාල්කාන්ත
November 22, 2024 05:48 pm
නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව එළැඹෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවසීය.
"නාඩු හිඟයක් වෙළෙඳපොළේ තියෙනවා. මිල පිළිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා. නිෂ්පාදනය පැත්තෙන් බැලුවහම අවශ්‍ය ප්‍රමාණයට නාඩු සහල් තියෙන්න ඕනේ. නමුත් වෙළෙඳපොළට ඇවිල්ලා නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි පිටරටින් අපි හාල් ගේනවා. ඉන්දියාවෙන් ගේනවා. ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යංශ දෙක ඒකාබද්ධ කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා. කාටවත් මේක ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ. අපි ප්‍රශ්නේ විසඳනවා. අතරමැදියන්ට අපි ගසා කන්න ඉඩ තියන්නේ නෑ. අපිට මහා පරිමාණ මෝල් හිමියන් සමග ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළෙඳපොළේ හිඟයක් තිබෙනවා නම් හැබැයි නිෂ්පාදනයත් ඇවිල්ලා තියෙනවා නම් ඒ ගොල්ලෝ ළඟ තමයි තියෙන්න ඕන. ඒ නිසා අපි අනිවාර්යෙන්ම අපි පාර්භෝගිකයයි ගොවියා ගැනයි හිතලා අවශ්‍ය පියවර ගන්නවා. අනිවාර්යෙන්ම උත්සව සමයට කිසිම හිඟයක් තියන්නේ නෑ. සදාකාලික උත්තර අපි ළඟ නෑ."