ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන විදේශිකයින් කියූ දේ
October 24, 2024 09:04 pm
මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.
ඒ සම්බන්ධයෙන් මෙරට රැඳීසිටින විදේශිකයන් මෙලෙස අදහස් පළ කර තිබුණි.
"මම අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් ආවේ. මට කිසිම භයානකකමක් දැනුණේ නැහැ. මට කිසි අපහසුතාවයක් දැනුනෙත් නැහැ."
"සියයට 100ක්ම ආරක්ෂිතයි. ඔස්ට්‍රේලියාවටත් වඩා ආරක්ෂිතයි."
"මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒක හරිම අපූරු රටක්. රට ආරක්ෂිතයි."
අරුගම්බේ වෙරළ තීරය මෙන්ම ප්‍රදේශයේ සංචාරක ලැඟුම්හල් ආශ්‍රිතව ද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබුණි.
මේ අතර විදේශිකයන් බහුලව ගැවසෙන ඇල්ල, වැලිගම, උනවටුන ඇතුළු සංචාරක කලාපවල ද ආරක්ෂක රැකවල් යොදා ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය.
අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු ලැබී තිබුණි.
එහි දැක්වුණේ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි අතර ඒ සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවය.
කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසීය.
එබැවින් ඉදිරි දින දෙක තුනකින් විදෙස් රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කර ඇති අවවාදාත්මක සංචාරක උපදේශන ඉවත් කර ගනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් ඇත.