එකම පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?

එකම පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?

October 20, 2024   08:02 pm

හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකුගේ මියයාමේ සිදුවීම ඝාතනයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

ඒ සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට හලාවත පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ අද (20) අලුයම 6ට පමණය.

ඒ අනුව හලාවත පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී  තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා, 44 හැවිරිදි මංජුලා නිරෝෂනී නම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂා යන නිවැසියන් බවට හඳුනාගනු ලැබීය.

මවගේ මළ සිරුර නිවසේ පහත මාලයේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගැණුනු අතර පොලීසිය සඳහන් කළේ ඇගේ ගෙල කපා දමා තිබූ බවය.

පියා සහ දියණියගේ මළ සිරුරු හමුවී තිබුණේ නිවසේ සාලයේ තිබියදීය.

මියගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් වන අතර ප්‍රදේශයේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කර ඇත.

ඇගේ සැමියා ඉඩම් හා රථවාහන ව්‍යාපාරයක නිරතව සිටි අයෙකි.

හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබු ඔවුන්ගේ දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ මීට මසකට පමණ පෙරද මෙම නිවසේ තිබූ ලක්ෂ 25ක පමණ රන් ආභරණ අතුරුදහන්වී තිබූ බවයි.

නිවසට කිසිවෙකු හෝ පිටතින් ඇතුළු නොවී තිබියදී එලෙස රන් භාණ්ඩ අතුරුදන් වීම මේ දක්වා නොවිසඳුණු අබිරහසක්ව පවතියි.

අද දහවල් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු හලාවත මූලික රෝහල වෙත රැගෙන යනු ලැබීය.